Sunday, December 4, 2016

තිසරපටය ගැන සාකච්ඡා කිරීමට ජනපතිගෙන් එන්රික්ට ඇරයුමක්

පසුගිය දිනවල ඇතිවූ යම් යම් මතභේද පිළිබඳ තමන් සමඟ සාකච්ඡාවකට එන ලෙස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ප්‍රකට ගායක එන්රික් ඉග්ලේසියාස්ට ආරාධනා කර ඇති බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

කොළඹදී මීට මාස කිහිපයකට පෙර පැවති සංගීත ප්‍රසංගයකදී ඉග්ලේසියාස් වෙත ප්‍රේක්ෂකයින් අතර හුන් තරුණියක බ්‍රෙසියරයක් නොහොත් තිසරපටයක් විසිකිරීම මහත් වූ කතාබහකට ලක් විය​.

ජනාධිපති සිරිසේන කියා සිටියේ රටේ සංස්කෘතියට හානි කරන සන් දර්ශන සංවිධානය කරන්නන්ට මඩුවලිගයෙන් තැලිය යුතු බවයි. මෙම ප්‍රකාශය කරන විට ඉග්ලේසියාස් රටෙහි සිටියේ නැත​.

ඉග්ලේසියාස් ගිය පසු සනී ලියෝන් ආදී ඉන්දියානු නිළියන් සහ නාට්‍යාංගනාවන් ලංකාවේ රාත්‍රී සමාජ ශාලාවකවත් සන්දර්ශනයකට පැමිණෙන්නට බිය වූ බව තතු දත්තො පවසති. කෙසේ නමුත් සංස්කෘතියට හානි කළ බවට සැක කෙරෙන එවන් සමාජ ශාලාවකට මෑතදී ප්‍රහාරයක් එල්ල වූ අතර එයට ජනාධිපතිගේ පුත්‍රයාගේ කිසිදු සම්බන්ධයක් නැත​.

කෙසේ වෙතත්, ඊයේ පෞද්ගලික බස් වර්ජකයන් හා සාකච්ඡා කර ඔවුනගේ ඉල්ලීම් ලබා දුන් පසු ජනාධිපතිවරයා ප්‍රවාහන අමාත්‍යාංශයේ උපදේශක තනතුරක් ඔවුනට ලබා දීම කෙරෙහි අවධානය යොමු කර ඇත​.

එමෙන්ම​, සිය අගමැතිවරයාගේ ලිච්ඡවී ප්‍රතිපත්තිය අනුව යමින් සාකච්ඡා මාර්ගයෙන් සියල්ල විසඳීම කෙරෙහි ඔහු දැන් යොමු වී ඇත​. බස් හා ත්‍රීවීලර් වර්ජකයින් මහාමාර්ග සහ දුම් රිය මාර්ග හරස් කරද්දී පවා ඔවුනට පහර දී එලවා නොදමා ගොඩින් වැඩේ බේරාගන්නට රජය යොමු ව ඇත්තේ එම ලිච්ඡවී ප්‍රතිපත්ති අනුව යමිනි.

නමුත් තමාගේ ලිච්ඡවී ප්‍රතිපත්තියෙන් අනවශ්‍ය ප්‍රයෝජන ගන්නට උත්සාහ කරන ශ්‍රී ලංකා පොදුජන පොහොට්ටුවේ නියෝජිතයන්ට නම් කිසිදු සමාවක් නැති බව සිරිසේන මහතා සපථ කර සිටී.

එම පක්ෂයට ඇති ප්‍රශ්න ජාතික ප්‍රශ්න නොවන නිසා ඒ පිළිබඳ සාකච්ඡා නොකරන බව පවසන රජය​, බ්‍රෙසියර් ප්‍රශ්නය ජාතික ප්‍රශ්නයක් බැවින් ඒ ගැන ඉග්ලේසියාස් සමඟ සාකච්ඡා කරන බව කියා සිටී.

එම ප්‍රශ්නය විසඳීම සඳහා ප්‍රවාහන ඇමතිතුමාගේ ප්‍රධානත්වයෙන් කොමිටියක් පත් කරන බව සැළ ය​.

තවද​, මින් මනත බ්‍රෙසියර් විසි නොකරන තත්ත්වයට තරුණියන් පත් කළ යුතු බව රජයේ ඇතැම් කොට්ඨාශවල අදහස වී ඇත​. ඒ අනුව ඉග්ලේසියාස් යලිත් ලංකාවේ ප්‍රසංසයක් පැවැත්වුවහොත් එහි එන තරුණියන්ට තිසරපට තහනම් කිරීම කෙරෙහි රජයේ අංශවල අවධානය යොමු වී ඇත​.

Saturday, December 3, 2016

බස් වර්ජනය පිළිබඳ ජනපතිතුමා ජාතිය අමතා කරන කතාව​

ගරුතර මහා සංඝරත්නයෙන් අවසර​. අන්‍යාගමික පූජකතුමනි, ආදරණීය අම්මේ, තාත්තේ, සහෝදරයා, සහෝදරිය​...

අපි ජනවාරි 8 වෙනිදා විප්ලවය කළේ ජනතාවට හොඳින් ජීවත් වෙන්න පරිසරයක් හදලා දෙන්න මිසක් ජනතාව තවත් දුක් විඳිනවා බලන්න නෙවෙයි. ඒ කාළෙ අපිට මතකයි, ජනතාවට ජීවන බර වැඩි කරලා රටේ ජනාධිපති සහ එයාගෙ පවුලෙ උදවිය වෙඩි නොවදින කාර් ගෙනාවා, හෙලිකොප්ටර් ටුවර් ගියා, ශ්‍රී ලංකන එක කාබාසිනියා කරල ගෑණු එක්ක රවුම් ගැහුවා, කාර් රේස් පැද්දා... ඒ අතීතය අපිට අමතක කරන්න බැහැ.

ඒ නිසා තමයි මම පොදු ජනතාවගේ ආහාරයක් වෙච්ච ආප්ප කාළා අනික් පැත්තට පැන්නෙ. මම එදා බුරියානි හරි ෆ්‍රයිඩ් රයිස් හරි ඩෙවල් චිකන් හරි ඩිනර් එකට තිබ්බා නං හිටං කීයටවත් අනික් පැත්තට පනින්නේ නෑ. ඒ ආණ් ඩුවෙ ඉද්දි මගේ අවසන් රාත්‍රී භෝජන සංග්‍රහයෙදි පවා මම හිතුවෙ ජනතාව ගැන​.
අපි ජනවාරි 8 වෙනිදා විප්ලවය කළේ ජනතාවට හොඳින් ජීවත් වෙන්න පරිසරයක් හදලා දෙන්න මිසක් ජනතාව තවත් දුක් විඳිනවා බලන්න නෙවෙයි.

ඒ කාළෙ මට මතකයි, මිනිස්සුන්ට කිසිම අයිතිවාසිකමක් තිබ්බෙ නෑ. වැඩ වර්ජනය කළොත් කණට ගහන සංස්කෘතියක් හදල තිබ්බෙ. වෙන වෙන දේවලුත් කළා ලු. ඒ ගැන නම් මට අවබෝධයක් නෑ. ගුටි කන්න බැරි නිසා තමා කම්බස්... සමාවෙන්න​... බස් ගැමුණු මගේ ඡන්ද ව්‍යාපාරයට බැහැල වැඩ කළේ. මට එව්වා අමතක නෑ. ඒ කැපවීම අපි අගය කරන්න ඕන​.

ඒ නිසා තමයි මම ගැමුණු කියන දේ කරන්නෙත්, ගැමුණු මම කියන දේ කරන්නෙත්. ඉස්සර රජයේ හිටපු රාජ්‍ය නායකයා කළෙත් කැළණියෙ ගැමුණු කරපු දේ තමයි. නමුත් ඒ ඒකාධිපති රටක්. අපි හදන්න යන්නේ ප්‍රජාතන්ත්‍රවාදය රජ කරන රටක්.

මිත්‍රවරුණි, බස් නැති වුණාම ජනතාව දුක් විඳිනවා මට පේනවා. ඒ වගේම ෆිනෑන්ස් ගෙවාගන්න බැරිව බස් අයිතිකාරයො විඳින දුකත් පේනවා. අනෙක් අතට අඩු පඩියට කට්ට අව්වේ, මොර සූරන වැස්සේ රාජකාරී කරන පොලිස් විරුවොත් අපිට පේනවා. ඒ වගේම නඩු වැඩි වුනාම දුක් විඳින මහේස්ත්‍රාත්වරුත්, නඩු අඩු වුනාම දුක් විඳින පෙරකදෝරුවොත් පේනවා.

මිත්‍රවරුණි, රටක් පාලනය කරනවා කියන්නෙ, මටවත්, මගේ පුතා දහම්ටවත්, මගේ දුව චතුරිකාටවත් ඕන විදියට රට කරන එක නෙවෙයි. මගේ අගසව් රනිල් වික්‍රමසිංහ මහත්තයාවත්, මගේ මාධ්‍ය ප්‍රකාශක රාජිත මහත්තයාවත්, දොළොස් අවුරුදු විශ්ව විද්‍යාල අධ්‍යාපනය අතරමග දමා ආපු චතුරවත් කියන දේ කරන එක නෙවෙයි. මම ඇවිත් ඉන්නේ ජනතාව කියන දේ කරන්න​.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බණ්ඩාරනායකලාගෙ පක්ෂය​. එයාලට පිටින් ගියපු අය කරලා තියෙන්නෙ පක්ෂය සහ ප්‍රතිපත්ති හොරකම් කරපු එක​.

ජනතාව අපිව පත් කළේ මොකටද​? ජනතාව අපිව පත් කළේ හොරු අල්ලන්න​. මම දැන් ඒ වැඩේ හෙමින් කරගෙන යනවා. හොරු අල්ලනවා කියන්නෙ සූක්ෂමව කරන්න ඕන දෙයක්. ඒක මේ ආවාට ගියාට කරන්න බෑ. දැන් මම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හොරු ටික හෙමින් සැරේ මාරු කරනවා පොදුජන පොහොට්ටුවට​. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බණ්ඩාරනායකලාගෙ පක්ෂය​. එයාලට පිටින් ගියපු අය කරලා තියෙන්නෙ පක්ෂය සහ ප්‍රතිපත්ති හොරකම් කරපු එක​. මම ඒ අයට ඉන්න හිටින්න දෙන්නෙ නෑ කියල හිටං මම කියන්න සතුටුයි.

ජනතාවගෙන් මම පොඩි දෙයක් ඉල්ලනවා. මේ කැප කිරීම තව අවුරුද්දක්, නැත්නම් දෙකක්, වැඩිම වුනොත් තුනක් කරන්න වේවි. ඒත් අපි හොරු අල්ලනවා. අල්ලලා රට සංවර්ධනය කරනවා. දැන් බලන්න​, අපි ඉන්දියාව එක්ක එට්කා ගිවිසුම ගැහුවාම මෙහෙ විරැකියාව නැති වෙනවා. මොකද අපේ අයට එහෙ රස්සා කරන්න පුලුවන්. ඇයි ඒ ගැන හිතන්නෙ නැත්තෙ? ට්‍රම්ප් ආවට කමක් නෑ, අපි විදේශ නිදහස් ගිවිසුම් ගහනවා. මොකද මට විශ්වාසයි, මොනවා කිව්වත් ට්‍රම්ප් මම කියන දේ අහනවා. මම ලියන්නත් කළින්, එයා එයාගෙ දෙවනියා, අර පැන්ස මහත්තයාට කිව්ව මට කතා කරන්න කියල හිටං. ඒ තරමට ට්‍රම්ප් මහත්තයා මට සළකන බව මම කියන්න ඕන​.

අන්න ඒ නිසා මම පොඩි කාළයක් ඉල්ලනවා. එතකල් ප්‍රයිවට් බස් ගැන අනුකම්පා කරන්න කියල මම ඉල්ලා සිටිනවා.

මම මේ ප්‍රශ්නය ගැන තනියම තීරණයක් ගන්නේ නැහැ. මම මේ ගැන තීරණයක් ගන්න පාර්ලිමේන්තු කමිටුවක් පත් කරනවා. ඒකට පක්ෂ විපක්ෂ මන්ත්‍රීන් ඔක්කොමල්ලා ඇතුලත් වෙන්න ඕන​. අපි කුමාර වෙල්ගම මහතා වැනි අපේ පක්ෂයේ විපක්ෂ මන්ත්‍රීවරුත් ඒ සඳහා පත් කරනවා.

මම හැමෝටම ආරාධනා කරනවා. පාරෙ බස් නැතුව දුක් විඳිනවාද, මේ ගැන තීරණයක් ගන්නවාද​, කියල හිටං ඔබ තීරණය කරන්න​.

ඔබ සැමට තෙරුවන් සරණයි!

Friday, November 25, 2016

සිංගප්පූරු ගොඩක් ලංකාවේ

ලංකාවේ බලය විමධ්‍යගත කිරීම සඳහා මෙරට දේශපාලන බල අධිකාරිය ක්‍රියාත්මක වීමට බලපා ඇති ප්‍රධානම හේතුව වන්නේ කුඩා ඒකක වශයෙන් රට සංවර්ධනය කිරීම පහසු වීම බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

ලංකාව සිංගප්පූරුවක් කිරීමේදී මෙහි පාලන ඒකක සිංගප්පූරුව තරමේ ප්‍රමාණවලින් යුක්ත වීම වැදගත් බව මෙම සැලසුම්කරුවන් ගේ විශ්වාසය වේ.



මේ පිළිබඳ රජයේ එක් ආර්ථික උපදේශකයකු සඳහන් කළේ සිංගප්පූරුව දියුණුවට පත් වූයේ එය කුඩා රටක් නිසා බව පෙන්වා දුන්නේය​. එමෙන්ම සිංගප්පූරුවේ මෙන් අදාළ ප්‍රදේශවල ප්‍රධානීන්ට විශාල වැටුප් ද ගෙවීම වැදගත් බව ඔහු සඳහන් කළේය​. එසේ නොමැති වූ කල දූෂණය ඉහළ යන බව ඔහු සඳහන් කළේය​.

මේ අතර මෙම නව සීමා නිර්ණය පිළිබඳ කටයුතු කිරීමට කමිටුවක් විශේෂයෙන් පත්කර තිබේ. සිංගප්පූරුව දළ වශයෙන් කොළඹ දිස්ත්‍රික්කය තරම් විශාල වන හෙයින් ඒ ප්‍රමාණයට පාලන ප්‍රදේශ බෙදීම පිළිබඳව අවධානය යොමු ව ඇත​.

"අපි දකුණේ, අපි මොරටුව​" ආදී වශයෙන් ප්‍රාදේශීයවාදී චින්තනයන් ඔඩු දුවා ඇති රටක මෙය එතරම් දෙයක් නොවන බව කොළඹ විශ්ව විද්‍යාලයේ සමාජ විද්‍යාව පිළිබඳ ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය වරයකු අප සමඟ පැවසීය​.

කෙසේ නමුත් යාල සහ විල්පත්තුව වැනි වනෝද්‍යාන කොළඹ දිස්ත්‍රික්කයට වඩා විශාල වීම හේතුවෙන් එම ප්‍රදේශ බෙදීම පිළිබඳ ගැටලුවක් මතුව ඇත​. එහෙයින් මෙම කමිටුවට විශේෂඥ දැනුම සපයනු වස් විල්පත්තුව පිළිබඳ විශේෂ දැනුමක් ඇති එක් ඇමතිවරයකු ද​, යාල පිළිබඳ මෙන්ම පුරාවිද්‍යාව සහ රැකී රක්ෂා පිළිබඳ ද විශේෂ දැනුමක් ඇති ඇමතිවරයකු ද පත් කර ඇත​

Monday, October 31, 2016

ලංකාවේ ගොන් කරත්ත භාවිතය සීඝ්‍රයෙන් ඉහළට​

මේ දිනවල ලංකාවේ මෝටර් රථ වාහන ගෙන්වීම සීඝ්‍රයෙන් අඩු වෙමින් පවතින බවත් ඊට සාපේක්ෂව ගොන් කරත්ත නිශ්පාදනය සහ ආනයනය ඉහළ ගොස් ඇති බවත් වාර්තා වේ.

පසුගිය දිනවල විවිධ හේතු මත මුස්ලිම් ව්‍යාපාර වර්ජනය කිරීමේ ව්‍යාපාරයක් ක්‍රියාත්මක වූ අතර මෙය හලාල් වර්ජනය සහ සිම් කැඩීම ඔස්සේ ව්‍යාප්ත විය​. අවසානයේදී අති සාර්ථක තත්ත්වයට පැමිණෙමින් මුස්ලිම් රටවලින් එන ඛනිජ තෙල් පවා වර්ජනය කිරීමට ලංකාව කටයුතු කළේය​. ඉන් පසු රුසියාවෙන් ඛනිජ තෙල් ලබා ගැනීමට කළ උත්සාහය ඇමරිකාවේ තදබල විරෝධය මත හකුලා ගැනීමට සිදු වූ බව තතු දත් ආරංචි මාර්ග පවසයි.

මේ අනුව වාහන ගමනාගමනයට විශාල බාධා පැමිණුන අතර පාපැදි සහ ගොන් කරත්ත සඳහා ඇති ඉල්ලුම වැඩි වෙමින් පවතී. මේ අනුව ඛනිජ තෙල් භාවිතය​ සම්පූර්ණයෙන්ම අතහැර දැමීම කෙරෙහි ලංකාවේ අවධානය යොමු ව ඇත​.

එමෙන්ම විදුලි බස්, විදුලි දුම්රිය පිළිබඳ විශේෂ අවධානයක් යොමු ව ඇති අතර ලංකාවේ විදුලි නිශ්පාදනය ඉහළ නංවා ඉන් දියාවට විදුලිය සැපයීම කෙරෙහි අවධානය යොමු ව ඇත​.

එහෙත් තෙල්වලින් දුවන විදුලි බලාගාර ද ක්‍රියා විරහිත වූ තත්ත්වයක එම සැලසුම මඳක් ප්‍රමාද කිරීමට වන බව විශේෂඥයෝ අනතුරු අඟවති.

Tuesday, October 25, 2016

Exclusive: බර්ටෝල් බ්‍රෙෂ්ට් ලියූ යහපාලන කවිය​

ජර්මන් ජාතික බර්ටෝල් බ්‍රෙෂ්ට් ලංකාවේ ප්‍රකටව සිටින්නේ නාට්‍යකරුවකු ලෙසය​. වඩාත් නිවැරදිව කිවහොත් හුණුවටයේ කතාව ලියූ නිර්මාණකරුවා ලෙසය​. නමුත් බ්‍රෙෂ්ට් කවියකු ද විය​. ඔහු මෑතකදී යහපාලන රජය ගැන කවියක් ලියා තිබේ.

බ්‍රෙෂ්ට් මියගොස් බොහෝ කල් ගතව ඇත​. ඇතැමුන් කියන්නේ ඔහු දෙව්ලොව බවය​. තවකෙක් සිතන්නේ ඔහු අපායේ බවය​. ඔහු කොහේ සිටී දැයි හෙළි කිරීමට අප සූදානම් නැත​. අප කියන්නට යන එකම දේ නම් ඔහු ඉන්නා තැන සිට ඔහුගේ අලුත්ම කවිය අප වෙත එවූ බවය​.

එය මෙසේ පළ කරන්නෙමු.

"යහපාලන රජය​
තැන තැන යමින් පවසයි
කෝප් කමිටුව
එය කෙරෙහි යහපාලනේ
විශ්වාසය​
කැඩූ බවත්
එය ගොඩ නැගීමට​
කෝප් කමිටුවට​
බොහෝ දේ සුදු කළ​
යුතුව ඇති බවත්

ඊට මීට නරක නැද්ද​
කෝප් කමිටුවත්
එය පත් කළ පාර්ලිමේන්තුවත්
එය පත් කළ ජනතාවත්
බලයෙන් පහ කර​
අලුත් ජනතාවක්
අලුත් පාර්ලිමේන්තුවක්
අලුත් කෝප් කමිටුවක්
පත් කර ගත්තා නම්?"

මෙහි "සුදු" යන්න වරදවා ඇතුලත් කළ වචනයක් නොවන බව බ්‍රෙෂ්ට් විශේෂයෙන්ම අවධාරණය කළේය​.

Friday, October 21, 2016

මෝඩිට ලංකා ආණ්ඩුවේ තනතුරක් තිබේදැයි සෝනියා ගාන්ධි අසයි

ඉන්දියාවේ කොංග්‍රස් පක්ෂ නායිකා සෝනියා ගාන්ධි එරට අගමැති නරේන්ද්‍ර මෝඩි සහ ශ්‍රී ලංකා නායකයින් අතර ඇතිව තිබෙන මිත්‍රත්වය පිළිබඳව සිය පුදුමය පළ කර සිටියි.

තම රටෙහි පවතින ප්‍රශ්න විසඳනු වෙනුවට මෝඩි ලංකාව පිළිබඳ විශාල අවධානයකින් සිටීම පුදුමයට කරුණක් බව ඇය පෙන්වා සිටියි.

ඉන්දියාවේ සිට රත්නදීප Chronicle සමඟ විශේෂ සාකච්ඡාවකට එක්වූ එතුමිය ප්‍රශ්න කර සිටියේ මෝඩි ඉන්දියාවේ අගමැති ද​, ලංකාවේ අගමැති ද යන්න සොයා බැලිය යුතු බවයි.

පසුගිය දිනවල ලංකාවේ ඡන්දයෙන් තේරී පත්වූ අගමැති සහ ජනාධිපති යන දෙදෙනාම​, එනම් රනිල් වික්‍රමසිංහ සහ මෛත්‍රිපාල සිරිසේන යන දෙදෙනාම​, ඉන්දියාවට පැමිණ මෝඩි බැහැදැකීම විශේෂ කරුණක් බව ගාන්ධි පෙන්වා දෙයි.

Sunday, October 16, 2016

තමාටම තමා විසින් බැණ ගැනීම වරදක් නොවන බව ජනපති කියයි

තමා මෑත දිනෙක තමාටම බැණ ගත්ත ද එහි කිසිදු වරදක් තමා නොදකින බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසයි.

ඔක්තෝබර 12 වනදා කොළඹදී පැවති උත්සවයකදී ඔහු මෙසේ තමාටම බැණ ගත්තේය​.

"මම ආරක්ෂක ඇමතිවරයාට ජනාධිපතිවරයා වශයෙන් මගේ දැඩි පිළිකුළ​, ඒ වගේම අප්‍රසාදය ප්‍රකාශ කර සිටිනවා" ඔහු කියා සිටියේය​.

ප්‍රශ්නය මතු වූයේ ඔහු රටේ ජනාධිපතිවරයා පමණක් නොව ආරක්ෂක ඇමතිවරයා ද වන බව මාධ්‍ය විසින් හෙළි කිරීමත් සමඟය​.

නමුත් සිරිසේන මහතා ප්‍රකාශ කළේ තමන් ආරක්ෂක ඇමතිවරයා බව තමන්ට අමතක නොවූ බවය​.

"සමහරු කියනවා මට අමතක වුනා ලු මම ආරක්ෂක ඇමති කියල​. එහෙම එකක් වුනේ නැහැ" ඔහු කියා සිටියේය​.

ජනාධිපතිවරයා ලෙස තමන් කරන දෙයකට මුක්තිය හිමි වුවද ඇමතිවරයකු ලෙස තමන්ට මුක්තිය හිමි නොවන්නා සේ තනතුරු දෙක වෙනමම තෝරාගත යුතු බව ඔහු පවසයි.

"දැන් මගේ ජනාධිපතිකම ඉවරයි නෙ ගෙදර ගියාම​. එතකොට මම නිකම්ම නිකං ගෘහමූලිකය වෙනව නෙ හිටං. ඒ වුනාට ගෙදර කෑම බීම ආදිය ඔක්කොම බලන්නෙ නෝනා. එයා තමා උදේට මට කෑම එකක් හදල දෙන්නෙත්. එව්ව ඔතන්න කෙසෙල් කොළ හොයන එක තමා මම කරන ලොකු ම දේ. ඉතින් බඩු මිල ගණන් ගියාම එයා මට බනින්නෙ නෑ. හැබැයි ඉස්සර ජනාධිපතිවරුන්ට එයා බැන්නා. දැන් බනින්නෙ නෑ. මොකෝ එයාට මම ජනාධිපති නෙවෙයි, ගෙදර මනුස්සයා නිසා"

තව දුරටත් අදහස් දැක්වූ ඒ මහතා කියා සිටියේ තමා ගෙදරින් පිටදී ජනාධිපති ද​, ගෙදරදී ගෘහමූලිකයා ද ආරක්ෂක අමාත්‍යාංශයේ කටයුතුවලදී ආරක්ෂක ඇමති ද වන අතර සමහර පරණ නායකයින් මෙන් ඒ ඒ වැඩ පටලාගෙන නාගන්නේ නැති බවයි.

Saturday, October 15, 2016

ජවිපෙ සැබෑ මාක්ස්වාදීන් බව අනුර දිසානායක අවධාරණය කරයි

ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක මහතාට පසුගිය දිනෙක 'නප්පියටම යකා නැග' ඇතැයි රත්නදීප Chronicle වෙත වාර්තා වේ.

මෙම සිදුවීමට හේතුව වී ඇත්තේ පෙරටුගාමී සමාජවාදී පක්ෂය විසින් ඔවුනට එල්ල වූ චෝදනාවක් පිළිබඳ දේශපාලන මණ්ඩලයේ ඇතිවූ සාකච්ඡාවකි.

අනුර දිසානායකට ඉංග්‍රීසි ඉගැන්වූ ගුරුවරියකගේ පුතකු වන කුමාර් ගුණරත්නම් ඔහුට අදාළ නැති බව ප්‍රකාශ කළ ද ජවිපෙ නායකයා ගුණරත්නම්ගේ පක්ෂය අදාළ නැති බව ප්‍රකාශ කර නැත​. එසේ ප්‍රකාශ කළත් නොකළත් එම පක් ෂයෙන් ජවිපෙට එල්ලවන චෝදනා සුලුපටු නොවේ. එහෙයින් මෙම චෝදනාව කෙරේ ඔහු කිපී ඇති බව සඳහන් ය​.

"අපි මාක්ස්වාදී නෙවෙයි ලු. අම්මප​! කොහෙන් එන කතාවක් ද ඒක​? අපි තමයි සැබෑ මාක්ස්වාදී. හොඳට තේරුම් ගන්න​. මේ ධනපති පන්තිය එක්ක ගැටෙන හොඳම මාක්ස්වාදීන් තමයි ජනතා විමුක්ති පෙරමුණ​. අපි බය නෑ පාවා දෙන්නන්ට​. අම්මප​!" ඔහු ප්‍රකාශ කර ඇත​.

තව දුරටත් සිය අදහස පැහැදිලි කළ එතුමා මෙසේ ද සඳහන් කර ඇත​​.

"අපි 2001 පරිවාසෙ ගැහුව​. 2004 එක්සත් ජනතා නිදහස් සන්ධානෙ ගහල 39 ක් පාර්ලිමේන්තු ගියා. වැව් දහ දාහක් හැදුවා... හැදුවෙ නෑ කියලද කියන්නෙ? නෑ කියලද කියන්නෙ? අපි එව්වයෙන් මාක්ස් දාගත්තෙ නැද්ද​? හා නැද්ද​?"

"යුද්දෙට රාජපක්ෂව මෙහෙයවල අපි මාක්ස් දාගත්තෙ නැද්ද​? යුද්දෙ කෙලවෙයි කියල හිතල කඩාගෙන ගිහින් තිබ්බ මාක්ස් නැති කරගත්තෙ නැද්ද​? සිරිසේනව ගේන්න එපා, ඒ වුනාට රාජපක්ෂව කොහොමත් එපා කියල මාක්ස් දාගත්තෙ නැද්ද​? හා නැද්ද​?"

"ඔය පෙරටුගාමීන්ට මේ කපේදි මාක්ස්වාදියො වෙන්න බෑ. උන්ට කවුරුවත් ලකුණක් දෙන්නෙ නෑ. අපි තමා මාක්ස්වාදී. අම්මප​!" ඔහු සිය කතාව අවසන් කරමින් කියා තිබේ​.

Friday, October 14, 2016

"මම කිව්වද මම හොරෙක් කියල​?" නාමල් අසයි

තමන් කිසිදු අවස්ථාවක තමා හොරෙකු ලෙස හඳුන්වා නොදුන් බව නාමල් රාජපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා අවධාරණය කරයි.

විචක්ෂණ බුද්ධියෙන් යුතු දේශපාලකයකු වන තමා ජනාධිපති සිරිසේන මෙන් ආඩපාලි කීමට හෝ තමුන්වම පිළිකුලෙන් යුතුව හෙළා දැක ගැනීමට සූදානම් වන්නකු නොවන බව ඔහු රත්නදීප Chronicle සමඟ පැවසීය​.

රාජපක්ෂ මහතා මේ අදහස් පළ කළේ මෑතකදී පැවති රැස්වීමක් අතරතුර ඔහු කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් අදහස් දක්වමිනි.

FCID ය තමා අත් අඩංගුවට ගැනීමට එරෙහිව තමා නඩු පැවරූ බව මතක් කළ ඒ මහතා තමා අත් අඩංගුවට ගත්තේ මිනීමැරීමක් සම්බන්ධයෙන් ඇප මත සිටින නිලධාරියකු බව කියා සිටියේය​.

"මාව අත් අඩංගුවට ගත්තු කෙනා මට වඩා හොරෙක්" ඔහු කීවේ සිය පාක්ෂිකයන් අමන්දානන්දයට පත් කරමිනි.

කෙසේ නමුත් මෙම ප්‍රකාශය මගින් ඔහු තමාවම හොරෙකු ලෙස හඳුන්වා දුන් බව නැගෙන චෝදනා නාමල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කරයි.

"එහෙම වෙන්නෙ කොහොමද​? දැන් බලන්න​, ඔයයි මමයි විභාගෙකට ලියනව​. ඔයාට එක ලකුණයි ලැබෙන්නෙ. මට බින්දුවයි. මම කියනවා ඔයා මට වඩා ලකුණු ගත්තා කියල​. ඒකෙන් කියන්නෙ නෑ නෙ මම ලකුණු ගත්ත කියන එක​. මට ලකුණු නෑ කියන එක සඳහන් වෙන්නෙ නෑ නෙ. ඒ වගේ තමා. එයා හොරා, මම හොරා නෙවෙයි. එතකොට එයා මට වඩා හොරා"

තමා ප්‍රකාශ කරන දේ පිළිබඳව මීට වඩා විචක්ෂණශීලීව බලන මෙන් නාමල් රාජපක්ෂ මහතා ජනතාවගෙන් ඉල්ලා සිටියේය​.

Thursday, October 13, 2016

"එයැයි හිතන් ඉන්නෙ මම තාම ආරක්ෂක ඇමති කියල​" - රාජපක්ෂ

ඊයේ දිනයේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා තමාටම බැණ වැද ගැනීමේ සිද්ධියෙහි සුල මුල හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද හෙළි කළේය​.

"එයැයි හිතන් ඉන්නෙ මම තාම ආරක්ෂක ඇමති කියල​" රාජපක්ෂ මහතා රත්නදීප Chronicle සමඟ පැවසීය​.

ඊයේ පැවති රැස්වීමක දී සිරිසේන ජනාධිපතිවරයා වශයෙන් ආරක්ෂක අමාත්‍යවරයාට සිය පිළිකුළ සහ අප්‍රසාදය දක්වා සිටීම පිළිබඳ අදහස් දක්වමින් රාජපක්ෂ මේ බව කීවේය​. වත්මන් ආරක්ෂක ඇමතිවරයා වන්නේ ද ජනාධිපතිතුමා ම බව රජය පවසයි.

"ජනාධිපති වෙලා මාස ගාණක් යනකල් එයැයි හරියට තේරුම් ගත්තෙ නෑ එයැයි ඉන්න තැන​. දැන් නම් අඩු ගාණෙ තේරුම් අරන් තියෙනවා එයැයි ජනාධිපති කියල​. ඒකත් ලොකු දෙයක්," රාජපක්ෂ කීවේය​.

තවදුරටත් අදහස් දැක්වූ රාජපක්ෂ මහතා කියා සිටියේ මෙම ප්‍රශ්නයේ මූලාරම් භය 2015 ජනවාරි 9 වනදා සිදු වූ බව ය​.

"මේකනෙ. නිදහස් චතුරස්‍රෙදි නෙ මෙයැයි දිවුරුම් දුන්නෙ. මෙයැයිටවත් ඇහුනෙ නෑ දිවුරුම් දීම​. ඉතින් අද වෙනකලුත් එයැයිට සමහර වෙලාවට හිතෙනව එයැයි තාම සෞඛ්‍ය ඇමති කියල​."

"මම කීපවිටක්ම මතක් කරල දුන්නා මම නෙවෙයි ජනාධිපති එයැයි කියල​. දැන් තමා යන්තම් ඒක තේරුම් අරන් තියෙන්නෙ" රාජපක්ෂ කීවේය​.

නමුත් සිරිසේන මහතාට ඔහු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හෝ එක්සත් ජනතා සන්ධානයේ හෝ නායකයා බව නම් කිසිවිටෙක අමතක නොවන බව රාජපක්ෂ මහතා පවසයි. "සන්ධානෙ නම් මම දන්නෙ නෑ. නිදහස් පක්ෂෙ නම් දැන් නායකයා පරණ නායිකාවක්ම තමා" ඔහු තව දුරටත් කියා සිටියේය​.

අගමැතිතුමා ද දිවුරුම් දුන්නේ එම අවස්ථාවේම බව අප විසින් මතක් කළ විට රාජපක්ෂ මහතා කියා සිටියේ 2015 අගෝස්තුවේ ඔහු නැවතත් දිවුරුම් දුන් බවයි.

අගමැති සහ ඇමතිවරුන්ට සිය තනතුරු පිළිබඳ කිසිදු සැකයක් නොමැති බවත් ඔහු ප්‍රකාශ කළේය​.

ඊයේ දිනයේදී සිරිසේන මහතා සිය කතාව කරන විට රටේ හිටපු ආරක්ෂක ඇමති වන තමා තවමත් ආරක්ෂක ඇමති ලෙස සිටින බව ඔහුට මතක් වන්නට ඇති බව රාජපක්ෂ කියා සිටියේය​.

"එයැයි ආරක්ෂක ඇමතිකම නැති වෙච්ච දවසක එයැයිට මතක් වෙයිද දන්නෙ නෑ එයා ආරක්ෂක ඇමති ය කියල​. එහෙම වුනොත් ඉතින් අපේ රටට මින්නේරි දෙවියන් ගේ පිහිටයි" රාජපක්ෂ පැවසීය​.

Wednesday, October 12, 2016

ජනාධිපති සිරිසේන තමුන්වම පිළිකුලෙන් යුතුව හෙළා දකියි

ජනාධිපති සිරිසේන මහතාට අල්ලස් හා දූෂණ විමර්ශන කොමිසමක් පවතින බව අද හිටිහැටියේ මතක් වී ඇතැයි වාර්තා විය​.

රජයේ ආරංචි මාර්ග රත්නදීප Chronicle වෙත සඳහන් කළේ ජනාධිපතිතුමා සිහිනයෙන් අවදි වූවාක් මෙන් අල්ලස් කොමිසම වෙත දැඩිව දෝෂාරෝපණය කිරීම තනිකරම පුදුමයට කරුණක් බවයි.

හිටපු නාවික හමුදාපතිවරුන් තිදෙනකු අධිකරණය හමුවට ගෙනයාම ඔහු දැඩිව පිළිකුලෙන් යුතුව හෙළා දැක්කේය​.

ආරක්ෂක අමාත්‍යාංශය විසින් පාවෙන අවි ගබඩාවක් පවත්වාගෙන යාම පිළිබඳ අවසරය ඇවන්ට් ගාර්ඩ් සමාගම වෙත ලබාදීම සම්බන්ධව අල්ලස් කොමිසම මෙසේ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයෙහි නඩු පවරා තිබේ. මෙම සිද්ධිය පසුගිය රජය සමයේ වූවක් යයි අල්ලස් කොමිසම කියා සිටින අතර හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ද මෙහි සැකකරුවකු වේ.

නමුත් ආරක්ෂක අමාත්‍යාංශය සහ ඇවන්ට් ගාර්ඩ් සමාගම අතර ගනුදෙනුවේ ගැටලුවක් වී නම් ඒ පිළිබඳ ආරක්ෂක අමාත්‍යාංශය විසින් කටයුතු කළ යුතුව තිබූ බව සිරිසේන පෙන්වා දුන්නේය​.

"මම ආරක්ෂක ඇමතිවරයාට ජනාධිපතිවරයා විදියට මගේ දැඩි අප්‍රසාදය සහ පිළිකුළ ප්‍රකාශ කරනවා නාවික හමුදාවේ හිටපු හමුදාපතිවරු තුන් දෙනෙක් උසාවියට ඉදිරිපත් කිරීම පිළිබඳව​" යයි ඔහු කියා සිටියේය​.

මෙම ප්‍රකාශය පිළිබඳ සිය විමතිය පළ කරන උසස් නිලධාරියකු කියා සිටියේ ආරක්ෂක ඇමතිවරයා වන්නේද තමාම බව ජනාධිපතිවරයාට අමතක වීම රටේ ආරක්ෂාවට සුදුසු තත්ත්වයක් නොවන බවය​.

මේ පිළිබඳව වහාම අපක්ෂපාතී පරීක්ෂණයක් පැවැත්විය යුතු යයි තමා ජනාධිපතිවරයාට මතක් කර දීමට බලාපොරොත්තු වන බව එම නිලධාරියා ප්‍රකාශ කළේය​.

ETCA ගිවිසුම පිළිබඳ ඉන්දියාව භීතියෙන්

එට්කා ගිවිසුම අත්සන් කිරීම සඳහා ඉන්දියාවේ අගමැති නරේන්ද්‍ර මෝදිට ද නැති හදිසියක් ලංකාවේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විසින් දක්වන බව නවදිල්ලියේ ඉහළ නිලධාරියකු රත්නදීප Chronicle සමඟ පැවසීය​.

මේ තදියමට හේතු කවරක්ද යන්න සෙවීමට ඉන්දියාවේ රෝ බුද්ධි අංශයේ විශේෂ කණ්ඩායමක් යොදවා ඇති බව වාර්තා වේ.

ඔවුනට දැනට දැනගන්නට ලැබී ඇති වාර්තා අනුව පවතින තත්ත්වය එතරම් යහපත් නොවන බව එම අංශ විසින් ඉන්දියානු රජයට දන්වා ඇත​.

එක අතකින් දකුණු ඉන්දියාව සහ ලංකාව ඇතුලත් ආර්ථික කලාපයක් ගොඩ නැගීම මගින් ඉන්දියාවේ දකුණ ලංකාවට වඩා සමීප කරගැනීම කෙරේ අවධානය යොමු වීම මෝදි රජයට ප්‍රශ්න සහගත තත්ත්වයක් ඇති කර ඇත​.

මේ අතර එට්කා ගිවිසුමෙන් පසු ලංකාවේ අයට ඉන්දියාවේ රැකියා අවස්ථා විවර වන පසුබිමක හිටපු මහ බැංකු අධිපතිවරයකු ඉන්දියාවේ මහ බැංකුවේ අධිපති ධූරය සඳහා ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බව රෝ සංවිධානයට වාර්තා වී ඇත​. මෙය නවදිල්ලිය භීතියට පත් කිරීමට සමත් ව ඇති බව වාර්තා වේ.

මේ අනුව ස්වාධීන වෘත්තිකයන්ට අනෙක් රටෙහි රැකියා සඳහා ඉදිරිපත් වීමේ අවස්ථාව ගිවිසුම මගින් ලබා නොදීමට තීරණය වී ඇතැයි සඳහන් ය​. මීට හේතු වී ඇත්තේ ලංකා රජයේ විරෝධය බවට ඔවුන් ප්‍රකාශ කළ ද සත්‍ය වශයෙන් ම සිදුව ඇත්තේ හිටපු ලංකා මහ බැංකු අධිපතිවරයා පිළිබඳ මෝදි රජයේ ඇති භීතිය බව වාර්තා වේ.

Monday, October 10, 2016

ඉන්දියානු චැනල්වලට එස්. බී. ගෙන් ඇඩ් එකක්

ලංකාවේ කැබිනට් අමාත්‍යවරයකු වන ඇස්. බී. දිසානායක මහතා විසින් කැබිනට් මණ්ඩලය වෙත කරන ලද යෝජනාවකට අනුව නව ප්‍රවර්ධන කටයුත්තක් සඳහා රුපියල් මිලියන දහසක් වෙන් කර ඇති බව වාර්තා වේ.

මෙම මුදල මගින් හින්දි සහ වෙනත් ප්‍රාදේශීය ඉන්දියානු භාෂා කිහිපයකින් වෙළෙඳ දැන්වීමක් නිර්මාණය කර දූර්දර්ශන්, සෝනි සික්ස් හා ප්‍රාදේශීය රූපවාහිනී නාලිකා කිහිපයක විකාශය කිරීමට බලාපොරොත්තු වේ.

මෙම වෙළෙඳ දැන්වීම් මගින් ඉන්දියානුවන්ට පසක් කරදීමට බලාපොරොත්තු වන්නේ ලංකාවේ අමුඩ ලේන්සුවල වැදගත්කමයි.

ගොවිතැන් කිරීම​, දිය නෑම ආදී කටයුතුවලදී අමුඩය හැඳීමේ වාසි පිළිබඳව මෙහිදී විශේෂ අවධානයක් යොමු කෙරෙන අතර වෙනමම දැන්වීමක් මගින් අමුඩය අඳින තරුණයින් ඇගැයීම කෙරෙහි තරුණියන් යොමු කිරීමට ද බලාපොරොත්තු වේ.

Amudaya - the sexiest dress in South Asia යන තේමාව යටතේ මෙම වෙළෙඳ දැන්වීම් නිර්මාණය කරනු ලබන බව වාර්තා වේ. මේ අනුව ලංකාවේ ගැමි තරුණයින්, තරුණියන් ගේ සිත් දිනාගැනීම සඳහා අමුඩය යොදාගත් අවස්ථා පිළිබඳව ද මෙම දැන්වීම් මගින් කියාදීමට බලාපොරොත්තු වේ.

මුලින්ම මේ සඳහා Amudaya - the sexiest dress in the SAARC යන නම ද යෝජනා වූ නමුත් සාක් සමුලුව ලංකාව විසින් වර්ජනය කිරීම හේතුවෙන් එම නම හලා දමා තිබේ. එමෙන්ම ඉන්දියාවේ බහුතරයක් ජනයා සාක් සංවිධානය නමින් යමක් තිබෙන බව අසාවත් නැති බව ද ඉන්දියාවේ ප්‍රකට අලෙවිකරණ සමාගමක් ලංකා රජයට දන්වා තිබේ.

මේ වනවිට ද හඟුරන්කෙත ප්‍රදේශයේ අමුඩ ලේන්සු කර්මාන්තශාලාවක් ඇරඹීමට අවශ්‍ය කටයුතු සැකසෙමින් පවතී. එමගින් ප්‍රදේශයේ තරුණ තරුණියන් රැසකට රැකී රක්ෂා ලබා දීමට හැකි වේ යයි අපේක්ෂා කෙරෙන බව රජයේ ආරංචි මාර්ග පවසයි.

Saturday, October 8, 2016

ඡායා විදේශ ඇමතිට 2017 නොබෙල් සාම තෑග්ග​

ශ්‍රී ලංකාව සාක් සමුලුව වර්ජනය කිරීම තුළින් මතුවූ තත්ත්වය සහ සාක් සමුලුවේ ඉදිරිය පිළිබඳ සාකච්ඡා කිරීම පිණිස ඒකාබද්ධ විපක්ෂය විසින් කමිටුවක් පත්කර තිබේ. මෙම ඒක පුද්ගල කමිටුවට එහි 'ඡායා විදේශ ඇමති' නාමල් රාජපක්ෂ මහතා පත් කර ඇත​. එම කමිටුව සෘජුවම මහින් ද රාජපක්ෂ මහතාට වාර්තා කරනු ඇත​.

මේ අනුව ඡායා විදේශ කටයුතු ඇමති ළඟදීම මිහින් එයාර් යානයකින් බංගලාදේශයට පිටත් ව යාමට සූදානම් වන බව වාර්තා වේ. ඉන්පසු ඇෆ්ඝනිස්ථානය, පාකිස්ථානය ආදී රටවල නායකයින් සමඟ ද සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වේ.

මේ අතර කාශ්මීර් අර්බුදය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් පැවැත්වීම සඳහා ඒකාබද්ධ විපක්ෂය සැලසුම් සකස් කර ඇත​. මෙහිදී ඉන්දු - පාකිස්ථාන අර්බුදය විසඳීම සඳහා ක්‍රීඩාවේ කාර්යභාරය පිළිබඳ විශේෂ සාකච්ඡාවක් සඳහා ඡායා විදේශ ඇමතිවරයා විසින් දෙරටේ රගර් කණ්ඩායම්වලට ආරාධනා කර ඇති බව සඳහන් ය​.

ඒකාබද්ධ විපක්ෂයෙහි අරමුණ නොබැඳි මූලධර්ම ආරක්ෂා කිරීම බවත් යහපාලන රජය නොබැඳි මූලධර්ම කාබාසිනියා කරමින් සිටින බවත් ඒකාබද්ධ විපක්ෂය පවසයි. සිරිසේන ජනාධිපතිවරයා මෑතකදී වෙනෙසුවේලාවේදී පැවැත්වූ නොබැඳි ජාතීන් ගේ සමුලුවට මුලින් එන්නම් කියා පසුව නොයෑම මෙහිදී ඒකාබද්ධ විපක්ෂයේ දැඩි දෝශ දර්ශනයට ලක් විය​.

නාමල් රාජපක්ෂ මහතා කාශ්මීර් අර්බුදය සඳහා තිරසාර විසඳුමක් ලබා දීම මගින් 2017 නොබෙල් සාම ත්‍යාගය සඳහා සිය නම ඇතුලත් කරගැනීම පිළිබඳ ද අවධානය යොමු කර ඇතැයි වාර්තා වේ. මින් වසර කිහිපයකට පෙර, "ලෝක සාමය වෙනුවෙන් කරන්නට සූදානම් වන දේ" සම්බන්ධයෙන් ඇමරිකානු ජනාධිපති බැරක් ඔබාමාට නොබෙල් ත්‍යාගය දුන් බව මතක් කරන ඒ මහතා, ලෝක සාමය පිහිටුවීමටත් වඩා අපහසු කාශ්මීර අර්බුදය විසඳීම පිළිබඳ තම ව්‍යායාමය කෙරෙහි නොබෙල් කමිටුව දෑස් දල්වා බලා සිටිනු ඇතැයි පවසා සිටියේය​.

කෙසේ නමුත් මේ වනවිට ඔහු කාශ්මීර අර්බුදය පිළිබඳ ඉගෙන ගැනීමේ දැඩි උත්සාහයක යෙදෙන බව ද සඳහන් ය​. සතියකට පෙර කාශ්මීරය තිබෙන තැනවත් නොදැන සිටි හෙයින්, මේ වනවිට ඔහු ළඟා කරගෙන ඇති ප්‍රගතිය පිළිබඳ සෑහීමකට පත්විය හැකි බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරයි.

Friday, October 7, 2016

Exclusive: සිගරට් මිල වැඩි කිරීමේ සැබෑ ම හේතුව අනාවරණය වේ

ලංකාවේ යහපාලන රජය නැවත වරක් සිගරට් මිල ඉහළ දැම්මේය​. සිගරට් මිල ඉහළ යන්නට මත්තෙන් පුදුමාකාර ලෙස වෙළෙඳපොලේ සිගරට් හිඟයක් ඇති වූ අතර ජනතාව කියන මිළකට ඒවා මිලදී ගන්නා තත්ත්වයට පත් විය​. මෙයින් පසු කීයක් කීවාද ජනතාව සිගරට් මිලට ගන්නට සූදානම් සිටියෝය​.

කෙසේ නමුත් මෙම මිළ වැඩි කිරීම පිළිබඳව මුදල් අමාත්‍යාංශයේ උසස් නිලධාරියකු රත්නදීප Chronicle සමඟ පැවසූයේ වෙනස් කතාවකි. එම ප්‍රකාශකයා සඳහන් කරන්නේ මෙම මිල වැඩි කිරීම ලංකාවේ ආර්ථිකය නගා සිටුවීමේ මහා යහපාලන සැලසුමක කොටසක් බව ය​.

ලංකා රජයේ බලාපොරොත්තුව වී ඇත්තේ 'ගෝල්ඩ් ලීෆ්' සිගරට් මුදල් ඒකකයක් ලෙස භාවිත කිරීම බව එම ප්‍රකාශකයා කියා සිටියේය​. ඩොලරයට සාපේක්ෂව රුපියල බාල්දු වුවද සිගරට්ටුව බාල්දු නොවන බවත් එහි වටිනාකම ඉහළ යාම පමණක් වන බවත් ඔහු සඳහන් කරයි. වර්තමානයේ ඇමරිකානු ඩොලරයක මිල ගෝල්ඩ් ලීෆ් සිගරට් තුනක් පමණ වන අතර තවත් වසරකින් පමණ එහි වටිනාකම ගෝල්ඩ් ලීෆ් එකකට අඩු කිරීම රජයේ බලාපොරොත්තුවයි. 2018 මැද වනවිට ගෝල්ඩ්ලීෆ් එකක වටිනාකම ඇමරිකානු ඩොලර් දෙකක් පමණ වනු ඇතැයි මුදල් අමාත්‍යාංශය බලාපොරොත්තු වේ.

මේ අනුව උච්චාවචනය නොවන, ඩොලරයට වඩා ශක්තිමත් මූල්‍ය ඒකකයක් ලංකාවට ලැබෙන අතර එය කලාපයේ පොදු මූල්‍ය ඒකකය බවට නිසැකවම පත්වනු ඇතැයි ද රජය බලාපොරොත්තු වේ.

මේ අනුව අනාගතයේදී ලෝක ආර්ථිකයට විශාල බලපෑමක් කළ හැකි ප්‍රබල මුදල් ඒකකයකින් සන්නද්ධව ලංකාව ලෝක වෙළෙඳපොලේ නමක් දිනාගනු ඇති බව රජය විශ්වාස කරයි.

නවසීලන්තයේ දේශපාලන ක්‍රමවේදය ලංකාවට හරියටම හරි: දේශපාලන විශේෂඥයෙක්

නවසීලන්තයේ දේශපාලන ක්‍රමවේදය ලංකාවට හරියටම හරි යන බවත් ඒ පිළිබඳ කිසිදු සැකයක් තිබිය යුතු නොවන බවත් ලංකාවේ ප්‍රකට දේශපාලක විචාරකයකු රත්නදීප Chronicle සමඟ පැවසීය​.

ඔහු මෙම අදහස ප්‍රකාශ කළේ මෑතදී වික්‍රමසිංහ මහතා කළ ප්‍රකාශයක් පිළිබඳ අදහස් දක්වමිනි. වික්‍රමසිංහ මහතා නවසීලන්ත අගමැති ජෝන් කී සමඟ සාකච්ඡාවකදී ප්‍රකාශ කළේ ලංකාවට නවසීලන්ත මැතිවරණ ක්‍රමය හඳුන්වා දීම ගැන සිතන බවත් ඒ පිළිබඳ අධ්‍යයනය සඳහා මන්ත්‍රීවරුන් කණ් ඩායමක් එහි එනු ඇති බවත් ය​.

"ඇත්තෙන්ම ලංකාවට ගැලපෙන්නේ නවසීලන්ත ක්‍රමය තමයි" දේශපාලන විචාරකයා අප හා පැවසීය​. "මොකද නවසීලන්තයේ මිනිස්සුන්ට වඩා හරක් ජනගහනයක් සිටිනවා" ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කළේය​.

මේ අතර නවසීලන්ත අගමැතිවරයා සිය දූත කණ් ඩායමක් ලංකාවට එවීමට කටයුතු කරන බව තතු දත් ආරංචි මාර්ග පවසයි. ලංකාවේ දේශපාලන පරිවර්තනය උදෙසා අවශ්‍ය උපදෙස් ඔවුන් විසින් ලබා දෙනු ඇතැයි කියවේ.

කාන්තාවන් මියගිය පසු වළ නොදමන රටක්

වගකීමෙන් යුත් මාධ්‍ය භාවිතාව පිළිබඳ බෙහෙවින් උනන්දු වන රත්නදීප Chronicle ඔබ වෙනුවෙන් රත්නදීපයේ මෙන්ම ඉන් පිටත ද සිදු වන දෑ වාර්තා කිරීමට බලාපොරොත්තු වන බව ඔබ දනී.

මෑතකදී වාර්තා වූ එවන් පුවතක් පිළිබඳ අපි ඔබ වෙත තොරතුරු දන්වන්නට කැමැත්තෙමු. මෙම පුවත අප හට දැන්වූයේ බ්‍රෝඩ්ලෑන්ඩ්ස් ජලවිදුලි බලාගාරයේ ප්‍රධාන ඉංජිනේරු තැන්පත් චීන ජාතික මහතෙකි.

ඔහුට අනුව ඔහුගේ පළාතේ සොහොන්වල වැළලී සිටිනුයේ පිරිමින් පමණකි. කාන්තාවන් වළ දමනු නොලබන අතර ඔවුන් මියගිය පසු ආදාහනය කර අලු ගඟේ පා කර හරිනු ලැබේ.

"අපේ සංස්කෘතියේ හැටියට කාන්තාවක් පොළව මට්ටමෙන් පහළ තැනකට යන්න සුදුසු නැහැ. ඒ නිසා අපි මියගියාමත් ඔවුන් වළ දමන්නේ නෑ"

එමෙන්ම කෘෂිකාර්මික හෝ වෙනත් කටයුත්තක් වෙනුවෙන්වත් කාන්තාවක් වළක් නොකපන බව ඔහු කියා සිටියේය​.

ඊට හේතුව නම් වැරදීමකින් හෝ අතක් පයක් පොළව මට්ටමෙන් පහළට ගියහොත් එය  අසුබදායක වන බැවිනි.

ඔහු මේ අදහස් දැක්වූයේ ඉංජිනේරුවරියන්ට බ්‍රෝඩ්ලෑන්ඩ්ස් ජලවිදුලි බලාගාරයේ භූගත ප්‍රදේශවලට නොයන ලෙස කර ඇති ඉල්ලීමක් සම්බන්ධයෙන් විමසූ අවස්ථාවේ ය​.

වික්‍රමසිංහ​ මහතා ඉන්දියාව බෙදන්නට යයි. නවදිල්ලිය සීරුවෙන්!

දකුණු ඉන්දියාවේ ප්‍රාන්ත පහක් සමඟ විශේෂ ආර්ථික කලාපයක් ඇති කිරීමට යෝජනා කිරීම මගින් ඉන්දියාව බෙදීමේ වෑයමකට වික්‍රමසිංහ​ මහතා අත ගසා ඇතැයි යන සැකය මත ඉන්දියානු ආරක්ෂක අංශ සීරුවෙන් තබා ඇතැයි වාර්තා වේ.

ශ්‍රී ලංකාවේ ඇති සමුර්ධිය හේතු කරගෙන එම ප්‍රාන්ත පහ දියුණුවට පත් වී අවසන ඉන්දියාවෙන් කැඩී යාමේ ඉඩක් ඇතැයි සැක පල වී ඇත​.

මෙසේ එම ප්‍රාන්ත පහ ලංකාව සමඟ එක් වූ පසු එම නව ඒකකයේ සාර්ථකත්වය දකින් අනෙක් ඉන්දියානු ප්‍රාන්ත ද එම නව රාජ්‍යය සමඟ ඒකාබද්ධ වීමේ ඉඩක් ඇතැයි විචාරකයෝ සැක පළ කරති. මෙය සමස්ථ ඉන්දියාවම අල්ලා ගැනීම සඳහා ලංකාව ගන්නා කූඨ උපායක් බව රෝ සංවිධානය මෝදි වෙත දන්වා යවා ඇත​.

මේ පිළිබඳව සෙවීමට අති විශේෂ කොමිසමක් පත් කර ඇති අතර එහි සභාපති ලෙස සල්මන් ඛාන් මහතා පත්ව සිටී.

කොමිසමේ වගකීම් සහ කාර්යභාරයන් සමඟ රත්නදීප Chronicle වෙත අදහස් දැක්වූ සල්මන් ඛාන් මහතා කියා සිටියේ පවතින තත්ත්වය අතිශය භයානක බවත් මේ හේතුවෙන් ඉන්දියාව සලිත වී ඇති බවත් ය​.

කෙසේ වෙතත් තමා මේ පිළිබඳ සෙවීමට ලංකාවට එන බවත් පැමිණි විගස මහින්ද රාජපක්ෂ​ මහතා මුණ ගැසී මේ පිළිබඳ සාකච්ඡා කරන බවත් ඔහු කියා සිටියි.

මෙම ගැටලුව පිළිබඳ තමා රාජපක්ෂ​ මහතා හා කතා කළ බව පැවසූ සල්මන් ඛාන් මහතා රෝ සංවිධානය තමා බලයෙන් එලවීමට කළ උත්සාහය තනිකරම සිරිසේනගේ උගුලකට රෝ සංවිධානය හසු වීමක් බව පවසා ඇත​.

සිරිසේන මහතා බොරු භාරත ප්‍රේමයක් පෙන්වා රෝ සංවිධානය රැවටූ බවත් බලය ලබාගත් වනම ඒ භාරත ප්‍රේමය නිමා වූ බව මෝදි කබාය ගැලවීමෙන් පැහැදිලි වන බව රාජපක්ෂ මහතා සල්මන් ඛාන් මහතා හා පවසා ඇත​.

ඉන්දියාවේ උදව් ගෙන බලයට පත්ව දැන් ඉන්දියාව කැඩීමට යාම යහපාලන රජයේ සැබෑ ස්වරූපය ලොවට හෙළි කිරීමක් බව ඒකාබද්ධ විපක්ෂයේ බැසිල් පිළේ ප්‍රබල සාමාජිකයකු අප හා පැවසීය​.