Wednesday, November 14, 2018

ලංකාවට ඔලිම්පික් පදක්කම් බලාපොරොත්තු රැසක්. මළල​ ක්‍රීඩා ලොව බියෙන් සලිත වේ.

ශ්‍රී ලංකාවෙන් පසුගිය දා මතුව ඇති නව මළල ක්‍රීඩා බලාපොරොත්තු රැසක් සමග ඔලිම්පික් පදක්කම් කිහිපයක්ම පහසුවෙන්ම අයිති කර ගැනීමේ හැකියාවක් මතුව තිබෙනවා.

මේ වනවිට ද පිරිමි රිටි පැනීම සහ තුන් පිම්ම යන ක්‍රීඩා සඳහා ඇති වාර්තා පහසුවෙන් ම ශ්‍රී ලංකාව වෙත ලැබීමට ඉඩ ඇතැයි වාර්තා වනවා.

රිටි පැනීම ඉසව්ව සඳහා මේ වනවිට ද වසන්ත සේනානායක ක්‍රීඩකයා පරිසාදන මට්ටම කිසිදු අපහසුවකින් තොරව​ අභිබවා ගොස් ඇති බවයි වාර්තා වුණේ. ඔහු මෑතකදී ටැන්සානියාවේ සංචාරයක නිරත වී ඇත්තේ එම පුහුණුවීම් සඳහා දැයි සැකයක් මතුව තිබෙනවා.

Pic: Getty Images

මේ අතර තුන් වරක් පමණ එහාට මෙහාට පැන්න වඩිවේල් සුරේෂ් ක්‍රීඩකයා තුන් පිම්ම පිරිමි ඉසව්ව සඳහා පරිසාදන මට්ටම පහසුවෙන්ම ඉක්මවා තිබෙනවා.

කෙසේ නමුත් දුර පැනීම ක්‍රීඩාව සඳහා මෙතෙක් සුදුස්සකු ලංකාවෙන් බිහිව නැති බව වාර්තා වුණා.

ඒ කෙසේ වුවද මෙම නව අභියෝගය හමුවේ 2020 ඔලිම්පික් රන් පදක්කම සිහිනයක් බව රිටි පැනීම සහ තුන් පිම්ම සඳහා පදක්කම් පිළිබඳ බලාපොරොත්තු තබා තිබුණු ක්‍රීඩකයන් කිහිප දෙනකුම ප්‍රකාශ කොට ඇතැයි වාර්තා වනවා.

Monday, November 5, 2018

ශ්‍රී ලංකාවේ ආර්ථික උපදේශක තනතුරට රොබර්ට් මුගාබේ

ශ්‍රී ලංකාවේ ආර්ථික උපදේශක තනතුර සඳහා හිටපු සිම්බාබ්වේ ජනාධිපති රොබර්ට් මුගාබේ මහතා පත් කිරීමේ සූදානමක් ඇතැයි වාර්තා වනවා.

මේ වනවිට ද ඒ මහතාගෙන් රජය ආර්ථික උපදෙස් ලබාගනිමින් සිටින බවයි තතු දත් ආරංචි මාර්ග සඳහන් කර සිටියේ.



මේ අනුව ලංකාවේ ආර්ථික අපහසුතාවලට විසඳුමක් සලසා ගැනීම සඳහා තවදුරටත් මුදල් අච්චු ගැසීම සඳහා උපදෙස් ලබා දී ඇත්තේ මුගාබේ බවට සැකයක් මතුව තිබෙනවා.

මුගාබේ සිම්බාබ්වේ හි ජනාධිපති ලෙස කටයුතු කරන සමයෙහි ආර්ථික අර්බුදයෙන් මිදීම පිණිස එක දිගටම මුදල් අච්චු ගැසීමෙහි නිරත වූ අතර එමගින් එරට දැවැන්ත උද්ධමනයක් කරා ගියා. බඩුමිල අධික ලෙස ඉහළ ගිය අතර සිම්බාබ්වේ ඩොලර් ට්‍රිලියන 100 නෝට්ටු පවා මුද්‍රණය කෙරුණා.

දැනට 95 වන වියෙහි පසුවන මුගාබේ පසුගිය වසරේදී බලයෙන් නෙරපනු ලැබුණ අතර මේ වනවිට විරැකියාවෙන් පෙළෙනවා.

Sunday, November 4, 2018

ඇන්ගෙලා මර්කල්ට දැවැන්ත පරාජයක්: හේතුව නිරුවත් ඡායාරූපයක්?

ජර්මන් චාන්සලර් ඇන්ගෙලා මර්කල් තම ක්‍රිස්තියානි ප්‍රජාතාන්ත්‍රික එකමුතුවේ නායකත්වයෙන් ඉල්ලා අස්වන බව ඔක්තෝබර් 29 වනදා ප්‍රකාශ කළා ය​. මෙම නිවේදනය දේශපාලන ලෝකය කැළඹීමට සමත් වූ අතර ඒ පිළිබඳ විවිධ අර්ථකථන පළ වූයේ ය​.

නමුත් මෙහි සත්‍ය සිද්ධිය කුමක්ද යන්න මේ වනවිට හෙලි කිරීමට අපට හැකියාව ඇත​.



2015 දෙසැම්බරයේදී ලෝ පතල ගායක එන්රික් ඉග්ලේසියාස් ලංකාවට  පැමිණ ප්‍රසංගයක් පැවැත්වීය​. එහිදී යම් කිසිවකු (තරුණියක යයි සිතමු) වේදිකාවට තනපටක් විසි කිරීම රාජ්‍ය තාන්ත්‍රික මට්ටමට පවා ඇදී ගිය ප්‍රශ්නයක් බවට පත් වූයේ ය​. ශ්‍රී ලංකාවේ ජනාධිපති සිරිසේනයන් මේ පිළිබඳ උරණ වී මෙවන් ප්‍රසංග සංවිධානය කරන්නන්ට මඩු වලිගවලින් තැලිය යුතු බව සිංහනාද කලේ ය​.



ඉන් මාස දෙකක ඇවෑමෙන් 2016 පෙබරවාරියේදී ජනාධිපතිවරයා ජර්මනියේ සංචාරයක යෙදුණි. එහිදී එරට චාන්සලර් ඇන්ගෙලා මර්කල් ඔහුට හමුවිය​. නමුත් ඉන් දින කිහිපයකට පසු ඔහු දැනගත් දෙයකින් සිරිසේනයෝ මහත් සේ කලබලයට පත් වූහ​.

මෙය එක්තරා ඡායාරූපයක් පිළිබඳ කතාවක් විය​. ඒ අනුව මර්කල් එකල නැගෙනහිර ජර්මනියේ නිරුවත් වෙරළක සිටියදී ගත් බව කියන ඡායාරූපයක් කලක් තිස්සේ සංසරණය වෙමින් පැවතී ඇත​. (පහලින් දිස්වන ඡායාරූපයේ වම් පසින් සිටින්නේ ඇන්ගෙලා බව කියනු ලැබේ)



මේ  පිළිබඳ කණ වැකුණු සිරිසේන මහතා මඩු වලිගයක් ද රැගෙන වහ වහා ජර්මනිය බලා පිටත් වීමට සූදානම් වුවද​, එය රාජ්‍ය තාන්‍ත්‍රික නොවන බවට ඔහු වෙත උපදෙස් ලබා දෙන ලදී.

පසුව වහ වහා පොළොන්නරු ගිය ඔහු ඇන්ගෙලා මර්කල්ට හොඳක්ම නොවේවා යන ප්‍රාර්ථනයෙන් මින්නේරි දෙවියන් ඉදිරියේ පඬුරක් ගැසුවේ ය​.

එදා පටන් ඇන් ගෙලා මර්කල්ට අපල ය​. ඇගේ පක්ෂය බලය අල්ලාගෙන සිටියේ යාන්තමිනි. ඊට විවිධ හේතු සඳහන් වුවද කිසිවකුත් සිරිසේනයන් විසින් කළ බාරය ගැන නොදත් හ​.

කෙසේ නමුත් දෙවියන්ට​ තුටු පඬුරු මදි වීමෙන් මර්කල් නෝනාට අවසන් පහර එල්ල වූයේ නැත​. එය සම්පූර්ණ වූයේ 2018 ඔක්තෝබර් 26 වනදා ය​. එදින සිරිසේනයෝ තමාගේ වළ තමා විසින් ම කපාගත් හ​.

දින තුනකට පසු මර්කල් නෝනා තමන් පක්ෂ නායකත්වය අත් හරින බව ප්‍රකාශ කළා ය​.

Sunday, May 7, 2017

අසෝක අධිරාජයාට එරෙහිව කලු කොඩි ඔසවන්නට සැලසුමක්. ටයිම් මැෂින් එකක් සොයති

ශ්‍රී ලංකාවේ එක්තරා දේශපාලන පක්ෂයක පිරිසක් මේ දිනවල ටයිම් මැෂින් එකක් සෑදීමේ විශාල උත්සාහයක යෙදෙමින් සිටින බව රත්නදීප Chronicle වෙත වාර්තා වේ.

මීට හේතු වී ඇත්තේ ඔවුනගේ දැඩි ඉන්දියානු විරෝධය බව සඳහන් වේ.



විශ්වාස කටයුතු ආරංචි මාර්ග අනුව කිසිදු ඉන්දියානුවකු සම්බන්ධ නොවන පර්යේෂණ කණ්ඩායමක් විසින් නිපදවූ ටයිම් මැෂින් එකක් අනිවාර්ය වන බව ඔවුන් පවසා තිබේ.

ඔවුනගේ ඒකායන බලාපොරොත්තුව අශෝක අධිරාජයාට එරෙහිව කලු කොඩි එසවීම බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග පවසයි.

වාර්තා වන අන්දමට ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතාගේ ලංකා ගමන සිදුවන අවස්ථාවේ ඔවුන් පෙරහුරුවක් පවත්වන්නට යන බව සඳහන් ය​. වෙසක් දිනය සැමරීමට වුවද මෝදි පැමිණෙන්නේ ඉන්දියාවෙන් බැවින් මෙම විරෝධතාව මතු වී ඇත​.

මෝදි එට්කා හරහා ලංකාව යට කරන්නට යන බව ඔවුනගේ අදහසයි.

මේ ආකාරයෙන්ම අසෝක අධිරාජයා ද බුද්ධාගම හරහා ලංකාව යට කළ හෙයින්, මිහිඳු රහතන්වහන්සේ මිහින්තලයට වැඩම කරද්දී කලු කොඩි එසවීමේ අදහස ඇතිව මෝදි පැමිණෙද්දී කලු කොඩි ඔසවන්නට මෙම පිරිස බලාපොරොත්තු වේ.

මෝදිට එරෙහිව කරන කලු කොඩි එසවීමෙන් පන්නරය ලද පසු ටයිම් මැෂින් එකකින් අනාගතයට ගොස් අසෝකට එරෙහිව කොඩි එසවීමට මෙම පිරිස සැලසුම් කරගෙන සිටිති.

Saturday, January 21, 2017

ලංකාවේ සිනමාව ඉතාම උසස් තැනක තියෙනවා - විශේෂ සම්මුඛ සාකච්ඡාව​

සිංහල සිනමාවට වසර 70 ක් පිරෙන අවස්ථාවේ ආපසු හැරී බලන විට සිංහල සිනමාව තිබෙන තැන ගැන පැහැදිලි ලෙසම සතුටු විය යුතු බව ප්‍රවීණ සිනාමා විචාරක මහතකු රත්නදීප​ Chronicle සමඟ සඳහන් කළේය​.

කෙසේ නමුත් සිය නම හෙළි නොකරන ලෙස ඔහු ඉල්ලා සිටි අතර​, පත්තර සහ ටීවී චැනල් සමඟ ඔහු මීට වඩා හාත්පසින් වෙනස් දෙයක් කී බව ද හෙළි කළේය​.

ඒවායේ වාර්තාකරුවන් ඔහුගෙන් මේ පිළිබඳ ඇසූ කළ සිංහල සිනමාව කඩා වැටී ඇති බැව් ප්‍රකාශ කළ බව ඔහු කියා සිටියේය​.

විචාරකයන් තුළින් ඊට වඩා දෙයක් බලාපොරොත්තු නොවන බව ඔහු ඒ සමඟම කියා සිටියේය​.

"ඔය ඇත්ත කතාව කීවොත් මල්ලි, පත්තර මල්ලිලා ආයෙ අපි හොයාගෙන එන්නෙත් නෑ" ඔහු කියා සිටියේය​.

සිංහල සිනමාව අද පත්ව ඇති ස්ථානය ඉතා යහපත් වන බව ඔහුගේ මතයයි.

සිංහල සිනමාව විවිධ යුග පසු කළ බව ඔහු පෙන්වා දුන්නේය​. මුලින් "කොපි කැට්" සිනමාව කොහෙන් හෝ එන කතාවක් කොපි කිරීම මත පදනම් වූ බවත් ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගෙන් පසු ස්වයීය නිර්මාණ සොයා යන නියම සිංහල සිනමාවක් බිහි වූ බවත් ඔහු පෙන්වා දෙයි.



කෙසේ නමුත් විවෘත ආර්ථිකය පැමිණීමෙන් පසු යළි සිනමාවේ පරිවර්තනයක් ලෙස එම කලාව​ කඩා වැටුණ අතර ඉන්පසු "ඇගේ වෛරය​" මොඩල් එකට සිනමා කලාව ළඟා වූ බව ඔහු පෙන්වා දුන්නේය​.

"දැන් මෙහෙමයි. ඔය ටයිප් එකේ සිනමා නිර්මාණ ඇමරිකාවෙ හැදුණෙ 1960 - 70 ගණන්වල​. ඉතින් අවුරුදු 30 කින් ලංකාවට ඒක ආවා. ඒකත් නරකම නැහැ" ඔහු කියා සිටියේය​.

පසු කාලීනව පොඩි උන් විකිණීමේ සිනමාව පැමිණි බවත් එය කොහෙන් ආවාදැයි සිතාගත නොහැකි බවත් ඔහු කියයි.

"ඇමරිකාවේ පොඩි උන් විකිණීමේ සිනමාව ආවෙ "හෝම් අලෝන්" වගේ එව්වයෙන්. ලංකාවෙ පොඩි උන් විකිණීමේ සිනමාවල් දැක්කට පස්සෙ ළමයෙක් විහිලුවකටවත් ගෙදර තනියෙන් තියල යන්න බයයි. කලාකාරයොත් මෙච්චර අසහනකාරයෝ නම් ඉතින් අනික් උන් ගැන කවර කතා ද​? ඔහු කියයි.

මේ කාළයේ බිහිවූ අනෙක් සිනමා "සම්මාන සිනමා" බවත් ලංකාවේ ආදායම් ලැබුවත් නැතත් ජාත්‍යන්තර සම්මාන බලාගෙන තැනුණ ඒවා බවත් ඔහු කියයි.

ඔහුගේ අදහස නම් ළමයින් විකුණාගෙන සිනමාව කරන කාලකණ්ණි සමයක සිට රජුන් විකුණාගෙන කන සමයකට පැමිණීම සාධනීය කරුණක් බවයි.

"අනික සිංහල සිනමාව ගැන කතා කරද්දි අපි බලන්න ඕන රසිකයා පැත්තෙන්. මිනිස්සු තවමත් රසඥතාවයෙන් ඉහළයි. ඒකනෙ සිංහල චිත්‍රපටි බලන්න මොකෙක්වත් යන්නෙ නැතත් අලුත්ම ඉංග්‍රීසි චිත්‍රපටි හොලිවුඩ්වල රිලීස් වෙද්දි මෙහෙ ඩවුන්ලෝඩ් කරගෙන බලන්නෙ. තරුණ පරපුරේ රසඥතාව හොඳයි" ඔහු තර්ක කරයි.

Tuesday, January 3, 2017

සීමා නීර්ණ ගිනස් වාර්තාව ලංකාවෙන්

ශ්‍රී ලංකාවේ සීමා නීර්ණ ක්‍රියාවලිය ගිනස් පොතට ඇතුලත් කිරීම සඳහා කටයුතු සම්පාදනය කරමින් සිටින බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග රත්නදීප Chronicle වෙත පැවසීය​.

අදාළ ඇමතිවරයා විසින් එම අභියාචන වාර්තාව පිළි නොගැනීමට හේතු වූයේ ද එසේ ගිනස් වාර්තාව පිළිබඳ බලාපොරොත්තු පළ වී තිබීම නිසා බව ද සඳහන් ය​.



මේ අනුව සීමා නීර්ණ කටයුත්තක් සඳහා වැඩිම කාළයක් ගිය රට ලෙස වාර්තා තැබීමට ශ්‍රී ලංකාව සූදානම් ය​.

මෙවන් වාර්තාවක් ගිනස් පොතේ නැති නමුත් එය ගිනස් පොතට ඇතුලු කරන ලෙස ගිනස් කමිටුවෙන් ඉල්ලීමට යහපාලන රජය සූදානම් වේ.

මේ පිළිබඳ අගමැතිවරයා විශේෂ අවධානයක් නොදක්වන්නේ වුවද ජනාධිපතිවරයා ඒ පිළිබඳව අති විශේෂ අවධානය යොමු කර ඇතැයි ද වාර්තා වේ.

යහපාලන රජය විවිධ නව වචන සිංහල වාග් මාලාවට එක් කළ බව මතක් කළ රජයේ ප්‍රකාශකයෙක්, අලුතින්ම ගිනස් වාර්තාවක් නිර්මාණය කිරීම ලොකු අපහසුතාවකින් යුතු නොවන කටයුත්තක් බව ප්‍රකාශ කළේය​.

මේ අතර ලෝකයේ වැඩිම මිලෙන් යුතු සාමාන්‍ය සිගරට්, ලොව වැඩිම මිලෙන් යුතු සාමාන්‍ය අරක්කු, ලොව වැඩිම මිලෙන් යුතු කෑම පැකට් යනාදිය ඇති රට වශයෙන් ද විවිධ ගිනස් වාර්තා රැසක් තැබීමට යහපාලන රජය සූදානමින් සිටින බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග රත්නදීප Chronicle වෙත සඳහන් කළේය​.

Sunday, December 4, 2016

තිසරපටය ගැන සාකච්ඡා කිරීමට ජනපතිගෙන් එන්රික්ට ඇරයුමක්

පසුගිය දිනවල ඇතිවූ යම් යම් මතභේද පිළිබඳ තමන් සමඟ සාකච්ඡාවකට එන ලෙස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ප්‍රකට ගායක එන්රික් ඉග්ලේසියාස්ට ආරාධනා කර ඇති බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

කොළඹදී මීට මාස කිහිපයකට පෙර පැවති සංගීත ප්‍රසංගයකදී ඉග්ලේසියාස් වෙත ප්‍රේක්ෂකයින් අතර හුන් තරුණියක බ්‍රෙසියරයක් නොහොත් තිසරපටයක් විසිකිරීම මහත් වූ කතාබහකට ලක් විය​.

ජනාධිපති සිරිසේන කියා සිටියේ රටේ සංස්කෘතියට හානි කරන සන් දර්ශන සංවිධානය කරන්නන්ට මඩුවලිගයෙන් තැලිය යුතු බවයි. මෙම ප්‍රකාශය කරන විට ඉග්ලේසියාස් රටෙහි සිටියේ නැත​.

ඉග්ලේසියාස් ගිය පසු සනී ලියෝන් ආදී ඉන්දියානු නිළියන් සහ නාට්‍යාංගනාවන් ලංකාවේ රාත්‍රී සමාජ ශාලාවකවත් සන්දර්ශනයකට පැමිණෙන්නට බිය වූ බව තතු දත්තො පවසති. කෙසේ නමුත් සංස්කෘතියට හානි කළ බවට සැක කෙරෙන එවන් සමාජ ශාලාවකට මෑතදී ප්‍රහාරයක් එල්ල වූ අතර එයට ජනාධිපතිගේ පුත්‍රයාගේ කිසිදු සම්බන්ධයක් නැත​.

කෙසේ වෙතත්, ඊයේ පෞද්ගලික බස් වර්ජකයන් හා සාකච්ඡා කර ඔවුනගේ ඉල්ලීම් ලබා දුන් පසු ජනාධිපතිවරයා ප්‍රවාහන අමාත්‍යාංශයේ උපදේශක තනතුරක් ඔවුනට ලබා දීම කෙරෙහි අවධානය යොමු කර ඇත​.

එමෙන්ම​, සිය අගමැතිවරයාගේ ලිච්ඡවී ප්‍රතිපත්තිය අනුව යමින් සාකච්ඡා මාර්ගයෙන් සියල්ල විසඳීම කෙරෙහි ඔහු දැන් යොමු වී ඇත​. බස් හා ත්‍රීවීලර් වර්ජකයින් මහාමාර්ග සහ දුම් රිය මාර්ග හරස් කරද්දී පවා ඔවුනට පහර දී එලවා නොදමා ගොඩින් වැඩේ බේරාගන්නට රජය යොමු ව ඇත්තේ එම ලිච්ඡවී ප්‍රතිපත්ති අනුව යමිනි.

නමුත් තමාගේ ලිච්ඡවී ප්‍රතිපත්තියෙන් අනවශ්‍ය ප්‍රයෝජන ගන්නට උත්සාහ කරන ශ්‍රී ලංකා පොදුජන පොහොට්ටුවේ නියෝජිතයන්ට නම් කිසිදු සමාවක් නැති බව සිරිසේන මහතා සපථ කර සිටී.

එම පක්ෂයට ඇති ප්‍රශ්න ජාතික ප්‍රශ්න නොවන නිසා ඒ පිළිබඳ සාකච්ඡා නොකරන බව පවසන රජය​, බ්‍රෙසියර් ප්‍රශ්නය ජාතික ප්‍රශ්නයක් බැවින් ඒ ගැන ඉග්ලේසියාස් සමඟ සාකච්ඡා කරන බව කියා සිටී.

එම ප්‍රශ්නය විසඳීම සඳහා ප්‍රවාහන ඇමතිතුමාගේ ප්‍රධානත්වයෙන් කොමිටියක් පත් කරන බව සැළ ය​.

තවද​, මින් මනත බ්‍රෙසියර් විසි නොකරන තත්ත්වයට තරුණියන් පත් කළ යුතු බව රජයේ ඇතැම් කොට්ඨාශවල අදහස වී ඇත​. ඒ අනුව ඉග්ලේසියාස් යලිත් ලංකාවේ ප්‍රසංසයක් පැවැත්වුවහොත් එහි එන තරුණියන්ට තිසරපට තහනම් කිරීම කෙරෙහි රජයේ අංශවල අවධානය යොමු වී ඇත​.