Sunday, December 4, 2016

තිසරපටය ගැන සාකච්ඡා කිරීමට ජනපතිගෙන් එන්රික්ට ඇරයුමක්

පසුගිය දිනවල ඇතිවූ යම් යම් මතභේද පිළිබඳ තමන් සමඟ සාකච්ඡාවකට එන ලෙස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ප්‍රකට ගායක එන්රික් ඉග්ලේසියාස්ට ආරාධනා කර ඇති බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

කොළඹදී මීට මාස කිහිපයකට පෙර පැවති සංගීත ප්‍රසංගයකදී ඉග්ලේසියාස් වෙත ප්‍රේක්ෂකයින් අතර හුන් තරුණියක බ්‍රෙසියරයක් නොහොත් තිසරපටයක් විසිකිරීම මහත් වූ කතාබහකට ලක් විය​.

ජනාධිපති සිරිසේන කියා සිටියේ රටේ සංස්කෘතියට හානි කරන සන් දර්ශන සංවිධානය කරන්නන්ට මඩුවලිගයෙන් තැලිය යුතු බවයි. මෙම ප්‍රකාශය කරන විට ඉග්ලේසියාස් රටෙහි සිටියේ නැත​.

ඉග්ලේසියාස් ගිය පසු සනී ලියෝන් ආදී ඉන්දියානු නිළියන් සහ නාට්‍යාංගනාවන් ලංකාවේ රාත්‍රී සමාජ ශාලාවකවත් සන්දර්ශනයකට පැමිණෙන්නට බිය වූ බව තතු දත්තො පවසති. කෙසේ නමුත් සංස්කෘතියට හානි කළ බවට සැක කෙරෙන එවන් සමාජ ශාලාවකට මෑතදී ප්‍රහාරයක් එල්ල වූ අතර එයට ජනාධිපතිගේ පුත්‍රයාගේ කිසිදු සම්බන්ධයක් නැත​.

කෙසේ වෙතත්, ඊයේ පෞද්ගලික බස් වර්ජකයන් හා සාකච්ඡා කර ඔවුනගේ ඉල්ලීම් ලබා දුන් පසු ජනාධිපතිවරයා ප්‍රවාහන අමාත්‍යාංශයේ උපදේශක තනතුරක් ඔවුනට ලබා දීම කෙරෙහි අවධානය යොමු කර ඇත​.

එමෙන්ම​, සිය අගමැතිවරයාගේ ලිච්ඡවී ප්‍රතිපත්තිය අනුව යමින් සාකච්ඡා මාර්ගයෙන් සියල්ල විසඳීම කෙරෙහි ඔහු දැන් යොමු වී ඇත​. බස් හා ත්‍රීවීලර් වර්ජකයින් මහාමාර්ග සහ දුම් රිය මාර්ග හරස් කරද්දී පවා ඔවුනට පහර දී එලවා නොදමා ගොඩින් වැඩේ බේරාගන්නට රජය යොමු ව ඇත්තේ එම ලිච්ඡවී ප්‍රතිපත්ති අනුව යමිනි.

නමුත් තමාගේ ලිච්ඡවී ප්‍රතිපත්තියෙන් අනවශ්‍ය ප්‍රයෝජන ගන්නට උත්සාහ කරන ශ්‍රී ලංකා පොදුජන පොහොට්ටුවේ නියෝජිතයන්ට නම් කිසිදු සමාවක් නැති බව සිරිසේන මහතා සපථ කර සිටී.

එම පක්ෂයට ඇති ප්‍රශ්න ජාතික ප්‍රශ්න නොවන නිසා ඒ පිළිබඳ සාකච්ඡා නොකරන බව පවසන රජය​, බ්‍රෙසියර් ප්‍රශ්නය ජාතික ප්‍රශ්නයක් බැවින් ඒ ගැන ඉග්ලේසියාස් සමඟ සාකච්ඡා කරන බව කියා සිටී.

එම ප්‍රශ්නය විසඳීම සඳහා ප්‍රවාහන ඇමතිතුමාගේ ප්‍රධානත්වයෙන් කොමිටියක් පත් කරන බව සැළ ය​.

තවද​, මින් මනත බ්‍රෙසියර් විසි නොකරන තත්ත්වයට තරුණියන් පත් කළ යුතු බව රජයේ ඇතැම් කොට්ඨාශවල අදහස වී ඇත​. ඒ අනුව ඉග්ලේසියාස් යලිත් ලංකාවේ ප්‍රසංසයක් පැවැත්වුවහොත් එහි එන තරුණියන්ට තිසරපට තහනම් කිරීම කෙරෙහි රජයේ අංශවල අවධානය යොමු වී ඇත​.

No comments:

Post a Comment