Wednesday, November 14, 2018

ලංකාවට ඔලිම්පික් පදක්කම් බලාපොරොත්තු රැසක්. මළල​ ක්‍රීඩා ලොව බියෙන් සලිත වේ.

ශ්‍රී ලංකාවෙන් පසුගිය දා මතුව ඇති නව මළල ක්‍රීඩා බලාපොරොත්තු රැසක් සමග ඔලිම්පික් පදක්කම් කිහිපයක්ම පහසුවෙන්ම අයිති කර ගැනීමේ හැකියාවක් මතුව තිබෙනවා.

මේ වනවිට ද පිරිමි රිටි පැනීම සහ තුන් පිම්ම යන ක්‍රීඩා සඳහා ඇති වාර්තා පහසුවෙන් ම ශ්‍රී ලංකාව වෙත ලැබීමට ඉඩ ඇතැයි වාර්තා වනවා.

රිටි පැනීම ඉසව්ව සඳහා මේ වනවිට ද වසන්ත සේනානායක ක්‍රීඩකයා පරිසාදන මට්ටම කිසිදු අපහසුවකින් තොරව​ අභිබවා ගොස් ඇති බවයි වාර්තා වුණේ. ඔහු මෑතකදී ටැන්සානියාවේ සංචාරයක නිරත වී ඇත්තේ එම පුහුණුවීම් සඳහා දැයි සැකයක් මතුව තිබෙනවා.

Pic: Getty Images

මේ අතර තුන් වරක් පමණ එහාට මෙහාට පැන්න වඩිවේල් සුරේෂ් ක්‍රීඩකයා තුන් පිම්ම පිරිමි ඉසව්ව සඳහා පරිසාදන මට්ටම පහසුවෙන්ම ඉක්මවා තිබෙනවා.

කෙසේ නමුත් දුර පැනීම ක්‍රීඩාව සඳහා මෙතෙක් සුදුස්සකු ලංකාවෙන් බිහිව නැති බව වාර්තා වුණා.

ඒ කෙසේ වුවද මෙම නව අභියෝගය හමුවේ 2020 ඔලිම්පික් රන් පදක්කම සිහිනයක් බව රිටි පැනීම සහ තුන් පිම්ම සඳහා පදක්කම් පිළිබඳ බලාපොරොත්තු තබා තිබුණු ක්‍රීඩකයන් කිහිප දෙනකුම ප්‍රකාශ කොට ඇතැයි වාර්තා වනවා.

Monday, November 5, 2018

ශ්‍රී ලංකාවේ ආර්ථික උපදේශක තනතුරට රොබර්ට් මුගාබේ

ශ්‍රී ලංකාවේ ආර්ථික උපදේශක තනතුර සඳහා හිටපු සිම්බාබ්වේ ජනාධිපති රොබර්ට් මුගාබේ මහතා පත් කිරීමේ සූදානමක් ඇතැයි වාර්තා වනවා.

මේ වනවිට ද ඒ මහතාගෙන් රජය ආර්ථික උපදෙස් ලබාගනිමින් සිටින බවයි තතු දත් ආරංචි මාර්ග සඳහන් කර සිටියේ.



මේ අනුව ලංකාවේ ආර්ථික අපහසුතාවලට විසඳුමක් සලසා ගැනීම සඳහා තවදුරටත් මුදල් අච්චු ගැසීම සඳහා උපදෙස් ලබා දී ඇත්තේ මුගාබේ බවට සැකයක් මතුව තිබෙනවා.

මුගාබේ සිම්බාබ්වේ හි ජනාධිපති ලෙස කටයුතු කරන සමයෙහි ආර්ථික අර්බුදයෙන් මිදීම පිණිස එක දිගටම මුදල් අච්චු ගැසීමෙහි නිරත වූ අතර එමගින් එරට දැවැන්ත උද්ධමනයක් කරා ගියා. බඩුමිල අධික ලෙස ඉහළ ගිය අතර සිම්බාබ්වේ ඩොලර් ට්‍රිලියන 100 නෝට්ටු පවා මුද්‍රණය කෙරුණා.

දැනට 95 වන වියෙහි පසුවන මුගාබේ පසුගිය වසරේදී බලයෙන් නෙරපනු ලැබුණ අතර මේ වනවිට විරැකියාවෙන් පෙළෙනවා.

Sunday, November 4, 2018

ඇන්ගෙලා මර්කල්ට දැවැන්ත පරාජයක්: හේතුව නිරුවත් ඡායාරූපයක්?

ජර්මන් චාන්සලර් ඇන්ගෙලා මර්කල් තම ක්‍රිස්තියානි ප්‍රජාතාන්ත්‍රික එකමුතුවේ නායකත්වයෙන් ඉල්ලා අස්වන බව ඔක්තෝබර් 29 වනදා ප්‍රකාශ කළා ය​. මෙම නිවේදනය දේශපාලන ලෝකය කැළඹීමට සමත් වූ අතර ඒ පිළිබඳ විවිධ අර්ථකථන පළ වූයේ ය​.

නමුත් මෙහි සත්‍ය සිද්ධිය කුමක්ද යන්න මේ වනවිට හෙලි කිරීමට අපට හැකියාව ඇත​.



2015 දෙසැම්බරයේදී ලෝ පතල ගායක එන්රික් ඉග්ලේසියාස් ලංකාවට  පැමිණ ප්‍රසංගයක් පැවැත්වීය​. එහිදී යම් කිසිවකු (තරුණියක යයි සිතමු) වේදිකාවට තනපටක් විසි කිරීම රාජ්‍ය තාන්ත්‍රික මට්ටමට පවා ඇදී ගිය ප්‍රශ්නයක් බවට පත් වූයේ ය​. ශ්‍රී ලංකාවේ ජනාධිපති සිරිසේනයන් මේ පිළිබඳ උරණ වී මෙවන් ප්‍රසංග සංවිධානය කරන්නන්ට මඩු වලිගවලින් තැලිය යුතු බව සිංහනාද කලේ ය​.



ඉන් මාස දෙකක ඇවෑමෙන් 2016 පෙබරවාරියේදී ජනාධිපතිවරයා ජර්මනියේ සංචාරයක යෙදුණි. එහිදී එරට චාන්සලර් ඇන්ගෙලා මර්කල් ඔහුට හමුවිය​. නමුත් ඉන් දින කිහිපයකට පසු ඔහු දැනගත් දෙයකින් සිරිසේනයෝ මහත් සේ කලබලයට පත් වූහ​.

මෙය එක්තරා ඡායාරූපයක් පිළිබඳ කතාවක් විය​. ඒ අනුව මර්කල් එකල නැගෙනහිර ජර්මනියේ නිරුවත් වෙරළක සිටියදී ගත් බව කියන ඡායාරූපයක් කලක් තිස්සේ සංසරණය වෙමින් පැවතී ඇත​. (පහලින් දිස්වන ඡායාරූපයේ වම් පසින් සිටින්නේ ඇන්ගෙලා බව කියනු ලැබේ)



මේ  පිළිබඳ කණ වැකුණු සිරිසේන මහතා මඩු වලිගයක් ද රැගෙන වහ වහා ජර්මනිය බලා පිටත් වීමට සූදානම් වුවද​, එය රාජ්‍ය තාන්‍ත්‍රික නොවන බවට ඔහු වෙත උපදෙස් ලබා දෙන ලදී.

පසුව වහ වහා පොළොන්නරු ගිය ඔහු ඇන්ගෙලා මර්කල්ට හොඳක්ම නොවේවා යන ප්‍රාර්ථනයෙන් මින්නේරි දෙවියන් ඉදිරියේ පඬුරක් ගැසුවේ ය​.

එදා පටන් ඇන් ගෙලා මර්කල්ට අපල ය​. ඇගේ පක්ෂය බලය අල්ලාගෙන සිටියේ යාන්තමිනි. ඊට විවිධ හේතු සඳහන් වුවද කිසිවකුත් සිරිසේනයන් විසින් කළ බාරය ගැන නොදත් හ​.

කෙසේ නමුත් දෙවියන්ට​ තුටු පඬුරු මදි වීමෙන් මර්කල් නෝනාට අවසන් පහර එල්ල වූයේ නැත​. එය සම්පූර්ණ වූයේ 2018 ඔක්තෝබර් 26 වනදා ය​. එදින සිරිසේනයෝ තමාගේ වළ තමා විසින් ම කපාගත් හ​.

දින තුනකට පසු මර්කල් නෝනා තමන් පක්ෂ නායකත්වය අත් හරින බව ප්‍රකාශ කළා ය​.