Sunday, May 7, 2017

අසෝක අධිරාජයාට එරෙහිව කලු කොඩි ඔසවන්නට සැලසුමක්. ටයිම් මැෂින් එකක් සොයති

ශ්‍රී ලංකාවේ එක්තරා දේශපාලන පක්ෂයක පිරිසක් මේ දිනවල ටයිම් මැෂින් එකක් සෑදීමේ විශාල උත්සාහයක යෙදෙමින් සිටින බව රත්නදීප Chronicle වෙත වාර්තා වේ.

මීට හේතු වී ඇත්තේ ඔවුනගේ දැඩි ඉන්දියානු විරෝධය බව සඳහන් වේ.



විශ්වාස කටයුතු ආරංචි මාර්ග අනුව කිසිදු ඉන්දියානුවකු සම්බන්ධ නොවන පර්යේෂණ කණ්ඩායමක් විසින් නිපදවූ ටයිම් මැෂින් එකක් අනිවාර්ය වන බව ඔවුන් පවසා තිබේ.

ඔවුනගේ ඒකායන බලාපොරොත්තුව අශෝක අධිරාජයාට එරෙහිව කලු කොඩි එසවීම බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග පවසයි.

වාර්තා වන අන්දමට ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතාගේ ලංකා ගමන සිදුවන අවස්ථාවේ ඔවුන් පෙරහුරුවක් පවත්වන්නට යන බව සඳහන් ය​. වෙසක් දිනය සැමරීමට වුවද මෝදි පැමිණෙන්නේ ඉන්දියාවෙන් බැවින් මෙම විරෝධතාව මතු වී ඇත​.

මෝදි එට්කා හරහා ලංකාව යට කරන්නට යන බව ඔවුනගේ අදහසයි.

මේ ආකාරයෙන්ම අසෝක අධිරාජයා ද බුද්ධාගම හරහා ලංකාව යට කළ හෙයින්, මිහිඳු රහතන්වහන්සේ මිහින්තලයට වැඩම කරද්දී කලු කොඩි එසවීමේ අදහස ඇතිව මෝදි පැමිණෙද්දී කලු කොඩි ඔසවන්නට මෙම පිරිස බලාපොරොත්තු වේ.

මෝදිට එරෙහිව කරන කලු කොඩි එසවීමෙන් පන්නරය ලද පසු ටයිම් මැෂින් එකකින් අනාගතයට ගොස් අසෝකට එරෙහිව කොඩි එසවීමට මෙම පිරිස සැලසුම් කරගෙන සිටිති.