Tuesday, October 25, 2016

Exclusive: බර්ටෝල් බ්‍රෙෂ්ට් ලියූ යහපාලන කවිය​

ජර්මන් ජාතික බර්ටෝල් බ්‍රෙෂ්ට් ලංකාවේ ප්‍රකටව සිටින්නේ නාට්‍යකරුවකු ලෙසය​. වඩාත් නිවැරදිව කිවහොත් හුණුවටයේ කතාව ලියූ නිර්මාණකරුවා ලෙසය​. නමුත් බ්‍රෙෂ්ට් කවියකු ද විය​. ඔහු මෑතකදී යහපාලන රජය ගැන කවියක් ලියා තිබේ.

බ්‍රෙෂ්ට් මියගොස් බොහෝ කල් ගතව ඇත​. ඇතැමුන් කියන්නේ ඔහු දෙව්ලොව බවය​. තවකෙක් සිතන්නේ ඔහු අපායේ බවය​. ඔහු කොහේ සිටී දැයි හෙළි කිරීමට අප සූදානම් නැත​. අප කියන්නට යන එකම දේ නම් ඔහු ඉන්නා තැන සිට ඔහුගේ අලුත්ම කවිය අප වෙත එවූ බවය​.

එය මෙසේ පළ කරන්නෙමු.

"යහපාලන රජය​
තැන තැන යමින් පවසයි
කෝප් කමිටුව
එය කෙරෙහි යහපාලනේ
විශ්වාසය​
කැඩූ බවත්
එය ගොඩ නැගීමට​
කෝප් කමිටුවට​
බොහෝ දේ සුදු කළ​
යුතුව ඇති බවත්

ඊට මීට නරක නැද්ද​
කෝප් කමිටුවත්
එය පත් කළ පාර්ලිමේන්තුවත්
එය පත් කළ ජනතාවත්
බලයෙන් පහ කර​
අලුත් ජනතාවක්
අලුත් පාර්ලිමේන්තුවක්
අලුත් කෝප් කමිටුවක්
පත් කර ගත්තා නම්?"

මෙහි "සුදු" යන්න වරදවා ඇතුලත් කළ වචනයක් නොවන බව බ්‍රෙෂ්ට් විශේෂයෙන්ම අවධාරණය කළේය​.

No comments:

Post a Comment