ශ්‍රී ලංකාව සාක් සමුලුව වර්ජනය කිරීම තුළින් මතුවූ තත්ත්වය සහ සාක් සමුලුවේ ඉදිරිය පිළිබඳ සාකච්ඡා කිරීම පිණිස ඒකාබද්ධ විපක්ෂය විසින් කමිටුවක් පත්කර තිබේ. මෙම ඒක පුද්ගල කමිටුවට එහි 'ඡායා විදේශ ඇමති' නාමල් රාජපක්ෂ මහතා පත් කර ඇත. එම කමිටුව සෘජුවම මහින් ද රාජපක්ෂ මහතාට වාර්තා කරනු ඇත.
මේ අනුව ඡායා විදේශ කටයුතු ඇමති ළඟදීම මිහින් එයාර් යානයකින් බංගලාදේශයට පිටත් ව යාමට සූදානම් වන බව වාර්තා වේ. ඉන්පසු ඇෆ්ඝනිස්ථානය, පාකිස්ථානය ආදී රටවල නායකයින් සමඟ ද සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වේ.
මේ අතර කාශ්මීර් අර්බුදය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් පැවැත්වීම සඳහා ඒකාබද්ධ විපක්ෂය සැලසුම් සකස් කර ඇත. මෙහිදී ඉන්දු - පාකිස්ථාන අර්බුදය විසඳීම සඳහා ක්‍රීඩාවේ කාර්යභාරය පිළිබඳ විශේෂ සාකච්ඡාවක් සඳහා ඡායා විදේශ ඇමතිවරයා විසින් දෙරටේ රගර් කණ්ඩායම්වලට ආරාධනා කර ඇති බව සඳහන් ය.
ඒකාබද්ධ විපක්ෂයෙහි අරමුණ නොබැඳි මූලධර්ම ආරක්ෂා කිරීම බවත් යහපාලන රජය නොබැඳි මූලධර්ම කාබාසිනියා කරමින් සිටින බවත් ඒකාබද්ධ විපක්ෂය පවසයි. සිරිසේන ජනාධිපතිවරයා මෑතකදී වෙනෙසුවේලාවේදී පැවැත්වූ නොබැඳි ජාතීන් ගේ සමුලුවට මුලින් එන්නම් කියා පසුව නොයෑම මෙහිදී ඒකාබද්ධ විපක්ෂයේ දැඩි දෝශ දර්ශනයට ලක් විය.
නාමල් රාජපක්ෂ මහතා කාශ්මීර් අර්බුදය සඳහා තිරසාර විසඳුමක් ලබා දීම මගින් 2017 නොබෙල් සාම ත්‍යාගය සඳහා සිය නම ඇතුලත් කරගැනීම පිළිබඳ ද අවධානය යොමු කර ඇතැයි වාර්තා වේ. මින් වසර කිහිපයකට පෙර, "ලෝක සාමය වෙනුවෙන් කරන්නට සූදානම් වන දේ" සම්බන්ධයෙන් ඇමරිකානු ජනාධිපති බැරක් ඔබාමාට නොබෙල් ත්‍යාගය දුන් බව මතක් කරන ඒ මහතා, ලෝක සාමය පිහිටුවීමටත් වඩා අපහසු කාශ්මීර අර්බුදය විසඳීම පිළිබඳ තම ව්‍යායාමය කෙරෙහි නොබෙල් කමිටුව දෑස් දල්වා බලා සිටිනු ඇතැයි පවසා සිටියේය.
කෙසේ නමුත් මේ වනවිට ඔහු කාශ්මීර අර්බුදය පිළිබඳ ඉගෙන ගැනීමේ දැඩි උත්සාහයක යෙදෙන බව ද සඳහන් ය. සතියකට පෙර කාශ්මීරය තිබෙන තැනවත් නොදැන සිටි හෙයින්, මේ වනවිට ඔහු ළඟා කරගෙන ඇති ප්‍රගතිය පිළිබඳ සෑහීමකට පත්විය හැකි බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරයි.
No comments:
Post a Comment