Friday, October 7, 2016

Exclusive: සිගරට් මිල වැඩි කිරීමේ සැබෑ ම හේතුව අනාවරණය වේ

ලංකාවේ යහපාලන රජය නැවත වරක් සිගරට් මිල ඉහළ දැම්මේය​. සිගරට් මිල ඉහළ යන්නට මත්තෙන් පුදුමාකාර ලෙස වෙළෙඳපොලේ සිගරට් හිඟයක් ඇති වූ අතර ජනතාව කියන මිළකට ඒවා මිලදී ගන්නා තත්ත්වයට පත් විය​. මෙයින් පසු කීයක් කීවාද ජනතාව සිගරට් මිලට ගන්නට සූදානම් සිටියෝය​.

කෙසේ නමුත් මෙම මිළ වැඩි කිරීම පිළිබඳව මුදල් අමාත්‍යාංශයේ උසස් නිලධාරියකු රත්නදීප Chronicle සමඟ පැවසූයේ වෙනස් කතාවකි. එම ප්‍රකාශකයා සඳහන් කරන්නේ මෙම මිල වැඩි කිරීම ලංකාවේ ආර්ථිකය නගා සිටුවීමේ මහා යහපාලන සැලසුමක කොටසක් බව ය​.

ලංකා රජයේ බලාපොරොත්තුව වී ඇත්තේ 'ගෝල්ඩ් ලීෆ්' සිගරට් මුදල් ඒකකයක් ලෙස භාවිත කිරීම බව එම ප්‍රකාශකයා කියා සිටියේය​. ඩොලරයට සාපේක්ෂව රුපියල බාල්දු වුවද සිගරට්ටුව බාල්දු නොවන බවත් එහි වටිනාකම ඉහළ යාම පමණක් වන බවත් ඔහු සඳහන් කරයි. වර්තමානයේ ඇමරිකානු ඩොලරයක මිල ගෝල්ඩ් ලීෆ් සිගරට් තුනක් පමණ වන අතර තවත් වසරකින් පමණ එහි වටිනාකම ගෝල්ඩ් ලීෆ් එකකට අඩු කිරීම රජයේ බලාපොරොත්තුවයි. 2018 මැද වනවිට ගෝල්ඩ්ලීෆ් එකක වටිනාකම ඇමරිකානු ඩොලර් දෙකක් පමණ වනු ඇතැයි මුදල් අමාත්‍යාංශය බලාපොරොත්තු වේ.

මේ අනුව උච්චාවචනය නොවන, ඩොලරයට වඩා ශක්තිමත් මූල්‍ය ඒකකයක් ලංකාවට ලැබෙන අතර එය කලාපයේ පොදු මූල්‍ය ඒකකය බවට නිසැකවම පත්වනු ඇතැයි ද රජය බලාපොරොත්තු වේ.

මේ අනුව අනාගතයේදී ලෝක ආර්ථිකයට විශාල බලපෑමක් කළ හැකි ප්‍රබල මුදල් ඒකකයකින් සන්නද්ධව ලංකාව ලෝක වෙළෙඳපොලේ නමක් දිනාගනු ඇති බව රජය විශ්වාස කරයි.

2 comments:

  1. ශා ඔයාලා මාරයි නේ නියම අදහස් නේ එන්නේ

    ReplyDelete