Saturday, January 21, 2017

ලංකාවේ සිනමාව ඉතාම උසස් තැනක තියෙනවා - විශේෂ සම්මුඛ සාකච්ඡාව​

සිංහල සිනමාවට වසර 70 ක් පිරෙන අවස්ථාවේ ආපසු හැරී බලන විට සිංහල සිනමාව තිබෙන තැන ගැන පැහැදිලි ලෙසම සතුටු විය යුතු බව ප්‍රවීණ සිනාමා විචාරක මහතකු රත්නදීප​ Chronicle සමඟ සඳහන් කළේය​.

කෙසේ නමුත් සිය නම හෙළි නොකරන ලෙස ඔහු ඉල්ලා සිටි අතර​, පත්තර සහ ටීවී චැනල් සමඟ ඔහු මීට වඩා හාත්පසින් වෙනස් දෙයක් කී බව ද හෙළි කළේය​.

ඒවායේ වාර්තාකරුවන් ඔහුගෙන් මේ පිළිබඳ ඇසූ කළ සිංහල සිනමාව කඩා වැටී ඇති බැව් ප්‍රකාශ කළ බව ඔහු කියා සිටියේය​.

විචාරකයන් තුළින් ඊට වඩා දෙයක් බලාපොරොත්තු නොවන බව ඔහු ඒ සමඟම කියා සිටියේය​.

"ඔය ඇත්ත කතාව කීවොත් මල්ලි, පත්තර මල්ලිලා ආයෙ අපි හොයාගෙන එන්නෙත් නෑ" ඔහු කියා සිටියේය​.

සිංහල සිනමාව අද පත්ව ඇති ස්ථානය ඉතා යහපත් වන බව ඔහුගේ මතයයි.

සිංහල සිනමාව විවිධ යුග පසු කළ බව ඔහු පෙන්වා දුන්නේය​. මුලින් "කොපි කැට්" සිනමාව කොහෙන් හෝ එන කතාවක් කොපි කිරීම මත පදනම් වූ බවත් ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගෙන් පසු ස්වයීය නිර්මාණ සොයා යන නියම සිංහල සිනමාවක් බිහි වූ බවත් ඔහු පෙන්වා දෙයි.



කෙසේ නමුත් විවෘත ආර්ථිකය පැමිණීමෙන් පසු යළි සිනමාවේ පරිවර්තනයක් ලෙස එම කලාව​ කඩා වැටුණ අතර ඉන්පසු "ඇගේ වෛරය​" මොඩල් එකට සිනමා කලාව ළඟා වූ බව ඔහු පෙන්වා දුන්නේය​.

"දැන් මෙහෙමයි. ඔය ටයිප් එකේ සිනමා නිර්මාණ ඇමරිකාවෙ හැදුණෙ 1960 - 70 ගණන්වල​. ඉතින් අවුරුදු 30 කින් ලංකාවට ඒක ආවා. ඒකත් නරකම නැහැ" ඔහු කියා සිටියේය​.

පසු කාලීනව පොඩි උන් විකිණීමේ සිනමාව පැමිණි බවත් එය කොහෙන් ආවාදැයි සිතාගත නොහැකි බවත් ඔහු කියයි.

"ඇමරිකාවේ පොඩි උන් විකිණීමේ සිනමාව ආවෙ "හෝම් අලෝන්" වගේ එව්වයෙන්. ලංකාවෙ පොඩි උන් විකිණීමේ සිනමාවල් දැක්කට පස්සෙ ළමයෙක් විහිලුවකටවත් ගෙදර තනියෙන් තියල යන්න බයයි. කලාකාරයොත් මෙච්චර අසහනකාරයෝ නම් ඉතින් අනික් උන් ගැන කවර කතා ද​? ඔහු කියයි.

මේ කාළයේ බිහිවූ අනෙක් සිනමා "සම්මාන සිනමා" බවත් ලංකාවේ ආදායම් ලැබුවත් නැතත් ජාත්‍යන්තර සම්මාන බලාගෙන තැනුණ ඒවා බවත් ඔහු කියයි.

ඔහුගේ අදහස නම් ළමයින් විකුණාගෙන සිනමාව කරන කාලකණ්ණි සමයක සිට රජුන් විකුණාගෙන කන සමයකට පැමිණීම සාධනීය කරුණක් බවයි.

"අනික සිංහල සිනමාව ගැන කතා කරද්දි අපි බලන්න ඕන රසිකයා පැත්තෙන්. මිනිස්සු තවමත් රසඥතාවයෙන් ඉහළයි. ඒකනෙ සිංහල චිත්‍රපටි බලන්න මොකෙක්වත් යන්නෙ නැතත් අලුත්ම ඉංග්‍රීසි චිත්‍රපටි හොලිවුඩ්වල රිලීස් වෙද්දි මෙහෙ ඩවුන්ලෝඩ් කරගෙන බලන්නෙ. තරුණ පරපුරේ රසඥතාව හොඳයි" ඔහු තර්ක කරයි.

No comments:

Post a Comment