Sunday, November 4, 2018

ඇන්ගෙලා මර්කල්ට දැවැන්ත පරාජයක්: හේතුව නිරුවත් ඡායාරූපයක්?

ජර්මන් චාන්සලර් ඇන්ගෙලා මර්කල් තම ක්‍රිස්තියානි ප්‍රජාතාන්ත්‍රික එකමුතුවේ නායකත්වයෙන් ඉල්ලා අස්වන බව ඔක්තෝබර් 29 වනදා ප්‍රකාශ කළා ය​. මෙම නිවේදනය දේශපාලන ලෝකය කැළඹීමට සමත් වූ අතර ඒ පිළිබඳ විවිධ අර්ථකථන පළ වූයේ ය​.

නමුත් මෙහි සත්‍ය සිද්ධිය කුමක්ද යන්න මේ වනවිට හෙලි කිරීමට අපට හැකියාව ඇත​.



2015 දෙසැම්බරයේදී ලෝ පතල ගායක එන්රික් ඉග්ලේසියාස් ලංකාවට  පැමිණ ප්‍රසංගයක් පැවැත්වීය​. එහිදී යම් කිසිවකු (තරුණියක යයි සිතමු) වේදිකාවට තනපටක් විසි කිරීම රාජ්‍ය තාන්ත්‍රික මට්ටමට පවා ඇදී ගිය ප්‍රශ්නයක් බවට පත් වූයේ ය​. ශ්‍රී ලංකාවේ ජනාධිපති සිරිසේනයන් මේ පිළිබඳ උරණ වී මෙවන් ප්‍රසංග සංවිධානය කරන්නන්ට මඩු වලිගවලින් තැලිය යුතු බව සිංහනාද කලේ ය​.



ඉන් මාස දෙකක ඇවෑමෙන් 2016 පෙබරවාරියේදී ජනාධිපතිවරයා ජර්මනියේ සංචාරයක යෙදුණි. එහිදී එරට චාන්සලර් ඇන්ගෙලා මර්කල් ඔහුට හමුවිය​. නමුත් ඉන් දින කිහිපයකට පසු ඔහු දැනගත් දෙයකින් සිරිසේනයෝ මහත් සේ කලබලයට පත් වූහ​.

මෙය එක්තරා ඡායාරූපයක් පිළිබඳ කතාවක් විය​. ඒ අනුව මර්කල් එකල නැගෙනහිර ජර්මනියේ නිරුවත් වෙරළක සිටියදී ගත් බව කියන ඡායාරූපයක් කලක් තිස්සේ සංසරණය වෙමින් පැවතී ඇත​. (පහලින් දිස්වන ඡායාරූපයේ වම් පසින් සිටින්නේ ඇන්ගෙලා බව කියනු ලැබේ)



මේ  පිළිබඳ කණ වැකුණු සිරිසේන මහතා මඩු වලිගයක් ද රැගෙන වහ වහා ජර්මනිය බලා පිටත් වීමට සූදානම් වුවද​, එය රාජ්‍ය තාන්‍ත්‍රික නොවන බවට ඔහු වෙත උපදෙස් ලබා දෙන ලදී.

පසුව වහ වහා පොළොන්නරු ගිය ඔහු ඇන්ගෙලා මර්කල්ට හොඳක්ම නොවේවා යන ප්‍රාර්ථනයෙන් මින්නේරි දෙවියන් ඉදිරියේ පඬුරක් ගැසුවේ ය​.

එදා පටන් ඇන් ගෙලා මර්කල්ට අපල ය​. ඇගේ පක්ෂය බලය අල්ලාගෙන සිටියේ යාන්තමිනි. ඊට විවිධ හේතු සඳහන් වුවද කිසිවකුත් සිරිසේනයන් විසින් කළ බාරය ගැන නොදත් හ​.

කෙසේ නමුත් දෙවියන්ට​ තුටු පඬුරු මදි වීමෙන් මර්කල් නෝනාට අවසන් පහර එල්ල වූයේ නැත​. එය සම්පූර්ණ වූයේ 2018 ඔක්තෝබර් 26 වනදා ය​. එදින සිරිසේනයෝ තමාගේ වළ තමා විසින් ම කපාගත් හ​.

දින තුනකට පසු මර්කල් නෝනා තමන් පක්ෂ නායකත්වය අත් හරින බව ප්‍රකාශ කළා ය​.

No comments:

Post a Comment